IMG 20230201 091153

බස් මගීන්ගේ පහසුව වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක් නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ. මෙම කාඩ් පත ලංගම මෙන්ම පුද්ගලික බස් රථ සදහාද වලංගු වේ.

මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා මෙම පෙරගෙවුම් කාඩ් පත් නිකුත් කිරීම සිදුවන අතර මගී ජනතාවගේ පහසුව සදහා කාඩ්පත Top – up (Reload) කිරීම, අදාළ බැංකුවල CDM යන්ත්‍ර හරහා සිදුකර ගැනීමේ පහසුකම් සලසා ඇත. බැංකු මගින් පළමු අදියර යටතේ කාඩ් පත් නොමිලයේ නිකුත් කිරීමට පියවර ගනු ලැබේ.

පෙර ගෙවුම් කාඩ්පත් නිකුත්කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය සහ අදාළ මූල්‍ය ආයතනයන් සමග ගිවිසුම් ගතවීම, 2023-02-01 අමාත්‍යාංශ ලේකම් එම්.එම්.කේ. මායාදුන්නෙ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර පළමුව බස් මගීන් සදහා හදුන්වාදෙන මෙම කාඩ් ක්‍රමය පසුව දුම්රිය මගීන් වෙනුවෙන්ද ආදේශ කළහැකි බව අමාත්‍යාංශය පවසයි.

මේ සදහාවන නියමු ව්‍යාපෘතියක් වශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් මගීන් වෙනුවෙන් මෙම පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර එහි සමාරම්භක වැඩසටහන 2023-02-02 මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ විය. ඉදිරියේදී මෙම වැඩසටහන සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතනයන් එක්ව සැලසුම් කර තිබේ.

පොදු මගී ප්‍රවාහනයේදී සිදුවන අපහසුතාවයන් වලක්වා ගනිමින්, පොදු මගී ජනතාවට සහනයක් සැලසීම අරමුණූ කරගනිමින් හදුන්වාදෙනු ලබන මෙම පෙරගෙවුම් කාඩ් පත් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට හා පුද්ගලික බස් හිමියන්ටද, බස් රථ කාර්ය මණ්ඩලයට ද පහසුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.