4

බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විද්‍යුත් බස් රථ 200ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, 2030 වසර වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන කේෂ්ත්‍රය පොසිල ඉන්ධන භාවිතයෙන් තොර වන බවට වූ ලෝක සම්මුතියඅනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් 2023-09-04 ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

1

"පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් නිසි අයුරින් ලබාදීම සඳහා කැපවන ලංගම කාර්ය මණ්ඩලයට යහපත් ජීවන තත්වයක් ඇති කිරීම උදෙසා ඉහළ වැටුපක්, ප්‍රසාද දීමනා සහ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් මේ වන විට මූලික කටයුතු සිදු කරමින් පවතිනවා"

ලංකා ගමනාගමන මණ්ඩලයට නවක රියදුරන් 800ක්‌ සහ කොන්දොස්තරවරුන් 290ක්‌ බඳවා ගැනීමේ වැඩසටහනේ, හයවැනි අදියර යටතේ පත්වීම් ලාභීන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරිණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩසටහනේදි මූලික පුහුණුව අවසන් කළ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් 120 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.

උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් නිසි අයුරින් ලබාදීම සඳහා කැපවන ලංගම කාර්ය මණ්ඩලයට යහපත් ජීවන තත්වයක් ඇති කිරීම උදෙසා ඉහළ වැටුපක්, ප්‍රසාද දීමනා සහ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් මේ වන විට මූලික කටයුතු සිදු කරමින් පවතිනවා.

එම සැලසුම සාර්ථක කර ගැනීම සඳහා ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ වගකීම රියදුරු, කොන්දොස්තරවරුන් ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය වෙත පැවරෙනවා. කිසිදු පාඩු ලබන ආයතනයක්‌ වෙතමූල්‍ය ප්‍රතිපාදනලබාදීමේ හැකියාවක් තව දුරටත් රජයට නැහැ.

ලංගම ධාවනය කරන සෑම නව බස් රථයකටම ඒ වෙනුවෙන් ගෙවිය යුතු ණය වාරිකයක් පවතිනවා. එම නිසා සෑම බස් රථයකින් ම නිශ්චිත ආදායමක් ලබාගැනීමට කටයුතු කිරීම අනිවාර්යයි.තම රාජකාරි කාලය තුළ යහපත් සේවයක් ජනතාවට ලබාදෙමින් වැඩි ඉපයීමක්‌ සිදු කරන්නට ඔබ කටයුතු කළ යුතුයි.

ආයතනයේ කාර්ය මණ්ඩලයෙන් සුළු පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ මූල්‍ය වංචාවන් සිදුකිරීමට පෙළඹීම හේතුවෙන් දෛනිකව අති විශාල අදායමක් අහිමි වනවා. එවැනි වංචනික ක්‍රියාවන්වලට සම්බන්ධ වීම හේතුවෙන් ලංගම ප්‍රධාන කාර්යාලයේ හදිසි වැටලීම් අංශය විසුරුවා හැරීමට අපට සිදුවුණා. එම නිලධාරීන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමටද මේ වන විට පියවර ගෙන තිබෙනවා.ආයතනයේ කාර්ය මණ්ඩලයට අලුතින් එක්වන ඔබ එවැනි කටයුතු වලින් සම්පූර්ණයෙන්ම මිදී යුතුයි. කිසිවෙකුගේ බලපෑම වලට යටත් නොවී කටයුතු කරන සෑම අවංක සේවකයෙකුගේම ආරක්ෂාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.

පාඩු ලබන තත්ත්වයෙන් මිදෙමින්, පැහැදිලි වැඩපිළිවෙළක් යටතේ 2025 වසර වන විට ලාභ ලබන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ විශේෂ ඉලක්කයක්‌ වෙනුවෙන් මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදීමට ඔබ සියලු දෙනාටම විශාල වගකීමක් පැවරෙනවා."

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, පත්වීම්ලාභී නවක රියදුරු සහ කොන්දොස්තර මහතුන්ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

2

මහනුවරට නව නගර දුම්රිය නැවතුම් පොළක් හා මහනුවර අධික්ෂණ කළමනාකාර කාර්යාල සංකීර්ණයක්

මහනුවර නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්ගුඩ් ශෙඩ් ඉදිරිපිට ඉදි කිරීමේ සැලැස්ම වසර හතක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පෙරවරුවේ මහනුවර නගර දුම්රිය නැවතුම් පොළ හා මහනුවර අධික්ෂණ කළමනාකාර කාර්යාල සංකීර්ණ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ සෘජු ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 5ක් වැයකරමහනුවර නගර දුම්රිය පොල ඉදිකර ඇත. දැනට පවතින මහනුවර ප්‍රධාන දුම්රිය පොල නගරයේ එක් කොනක පිහිටා ඇති නිසා නව දුම්රිය පොල ඉදිකිරීම නිසා මහනුවර සිට මාතලේ දෙසට හා මාතලේ දෙස සිට මහනුවරට පැමිණෙන මගීන්ට විශාල සහනයක් ඉටුවේ.

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80ක් වැයකර අධීක්ෂණ කළමනාකරු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත. මාතලේ සිට නාවලපිටිය දක්වා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි හා බොක්කු ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් මෙම අංශය මගින් සිදුකරයි. පරණ ගොඩනැගිලි සංකීර්ණය සහිත ඉඩම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සෑදීම සඳහා වෙන් කිරීම නිසා එම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…

අපේ රටේ දුම්රිය ඉතිහාසය මහනුවර එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ප්‍රථමයෙන්ම මහනුවර ඉලක්ක කරගෙන තමයි දුම්රිය මාර්ගය තැනීම ආරම්භ වුණේ. එදා මෙදා තුර විවිධ වෙනස්කම් යටතේ මහනුවරසිට කොළඹ දෙසටත් උඩහටත් මේ දුම්රිය මගින් ඉතා විශාල සේවාවක් මේ රටේ පොදු ජනතාවට ඉෂ්ට කරනවා.

මහනුවර දුම්රිය ස්ථානය තිබියදී නගරයේ ජනතාවට වඩා පහසු වන ආකාරයට මෙවැනි කුඩා දුම්රිය නැවතුමක් ඉදි කරලා විවෘත කිරීමට බොහෝ කලක් බලා ඉඳලා තියෙනවා. මේ දුම්රිය පොල අද දින සිට බස් නැවතුම් පොලට පැමිණෙන ජනතාවටත්, නගරයේ ජනතාවටත් වඩා කඩිනම්, කාර්යක්ශම, ඵලදායි සේවාවක් ඉෂ්ට කරන ස්ථානයක් බවට පත්වෙනවා.

දුම්රිය, බස් රථ අනෙකුත් පුද්ගලික ත්‍රීරෝද රථ වෙනත් වාහන පිළිබඳ සම්මත දියුණු ක්‍රමවේදයක් නැති වීම නිසා මහනුවර නගරයේ ඉතා විශාල වාහන තදබදයක් පවතිනවා. කොළඹ නගරය හැරුණම වැඩිම වාහන තදබදයක් පවතින අනෙක් නගරය තමයි මහනුවර නගරය. මේ සඳහා වර්ෂ 7 කට පෙර ගුඩ් ෂෙඩ් එක අයින් කරලා සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලැස්මක් සකස් කර තියෙනවා. ඒ අනුව ලෝක බැංකු ආධාර යටතේ ගුඩ් ශෙඩ් ඉදිරිපිට සියලුම අංගෝපාංග සහිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්හදන්න සැලසුම් සකස් කර තියෙනවා. ඒ සඳහා ලෝක බැංකු ආධාර අනුමත වුණත් බොහෝ කලක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තියෙනවා. පසුගිය සතියේ ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ටෙන්ඩර් පිරිනමලා මෙහි වැඩ ආරම්භ කිරීමට. ඒ අවස්ථාවේජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මට උපදෙස් දුන්නා නගරයේ දැනට කොයිකා (koica) විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නාගරික සංවර්ධන සැලසුමත් අධ්‍යනය කර ඔවුන් සමගත් සාකච්ඡා කර අවසන් සැලැස්ම සකස් කරන ලෙස. ඒ අනුව අවුරුදු හතක් තිස්සේ මහනුවර නගරයේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ මෙම වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එය නිම කිරීමට තවත් වසර තුනක් පමණ ගතවෙනවා.

අපේ රටේ සියලුම සංවර්ධන ව්‍යාපෘති සඳහා පවතින ප්‍රධාන බාධකය වන්නේ රජයට ඒ සඳහා මුදල් යෙදවීමට සක්‍යයතාවයක්, හැකියාවක් නොමැති වීම.එයට හේතුව ලංකා ආණ්ඩුව ජනතාව මත බදු පනවලා ලබාගන්නවා මුදල් හා වෙනත් ආදායම් මදි රජයේ සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහණාධාර හා ණය පොලී ගෙවීමට.

සෑම ආණ්ඩුවක්ම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර තියෙන්නෙ දේශීය හා විදේශීය වශයෙන් ණය අරගෙන ඒ සඳහා ඒ ණය මදි වන විට සල්ලි අච්චු ගහලා. ඕනෑම පාරක්, පාලමක්, ඇනිකට් එකක්, වේල්ලක්, විදුලි බලාගාරයක්, සංවර්ධන යෝජනා ක්‍රමයක් මේ සියල්ල දේශීය හා විදේශීය ණය වලින් තමයි කරලා තියෙන්නේ. ආණ්ඩුව කුමක් වුණත් දේශපාලන මතවාදය කුමක් වුනත් ඔබේ දරුවාගේ පාසල හදලා තියෙන්නේ, ඔබට යන්න රෝහල හදලා තියෙන්නේ, ඔබට යන්න පාරවල් හදලා තියෙන්නේ, දුම්රිය මාර්ගය හදල තියෙන්නේ, මේ දුම්රිය ස්ථාන හදලා තියෙන්නේ මහජනතාවගේ බදු මුදල්වලින් නෙවෙයි මේ සියලු දේ කරලා තියෙන්නේ දේශීය හා විදේශීය රටවලින් ගත් ණයවලින්. ඒ ණය ආණ්ඩු ගෙවාගෙන ඇවිත් තියෙනවා. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 වසංගතයෙන් පස්සේ අපට ඒ ණය ගෙවීමට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අපි ජාතියන්තරයට දැනුම් දීලා තියෙනවා ණය ගෙවීමට පුළුවන් වෙන තෙක් එම ණය වාරික හා පොලී ගෙවීමට නොහැකි බව. ඒ නිසා තවදුරටත් අපට ණය සපයපු ආයතන කිසිම ණය මුදලක් අනුමත කරන්නේ නැහැ. අපි ආණ්ඩුවක් වශයෙන් විශ්වාස කරනවා මේ සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යාහගතකරන සැලැස්ම ලැබීමෙන් පසුව නැවත වතාවක් රටට හුස්ම ගන්න අවස්ථාව ලැබෙයි කියලා.

ඒ නිසා මේ අමාරු අවස්ථාවේ රට ගොඩනැගීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, සී.ටී. බී ඇතුළු පුද්ගලික අංශයත් ප්‍රවාහන සේවයේ සියලු දෙනාත් අනෙකුත් නිෂ්පාදන අංශයේ සියලු දෙනා එක්ව වැඩි වැඩියෙන් වැඩ කර මේ අමාරු අවස්ථාවෙන් ගොඩ යෑම සඳහා එකතුවෙලා වැඩ කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිස මහනුවර අලුතෙන් ඉදිවන ද්විත්ව දුම්රිය මාර්ගයේ කටයුතු හා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර දැනට අතරමග වැඩ නැවතී ඇති ගැටඹේ ගුවන් පාලමේ කටයුතු දැක බලා ගැනීමට ද එක්විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, රංජිත් බණ්ඩාර මහත්වරුන්, දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩබ්ලිව්. ඒ . ඩී. මුණසිංහ, දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරී(මෙහෙයුම) වී. එස්. පොල්වත්ත,දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී(යටිතල පහසුකම්) එච්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහතුන් ඇතුළු පිරිසක් එක්විය.

m6

TANTRI ට්‍රේඩර්ස් ප්‍රයිවට් ලිමිටඩ්ආයතනයට අයත් දෙමටගොඩ දුම්රිය මැදිරි අළුත්වැඩියා කරන වැඩබිම දැකබලා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහි ගියේය.

ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද රුමේනියානු හා පවර්සෙට් දුම්රිය මැදිරි මෙම වැඩ බිම තුලදී නැවත සම්පූර්ණයෙන් අලුත්වැඩියාවට ලක්වේ. දුම්රිය දෙපාර්තමේන්තුව හා TANTRI ආයතන 2017 වසරේසිට ඒකාබද්ධව ගිවිසුමකට අනුව ධාවනයෙන් ඉවත් මේ කරන ලද මැදිරිය 300 ක් නැවත අලුත්වැඩියාවට ලක් කරන අතර ඉන් මැදිරි 260 ක් පමණ වැඩ අවසන් කර මේ වන විට නැවත ධාවනයට එක් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රෝද කට්ටල හා තිරිංග පද්ධතිය නැවත අළුත්වැඩියා කර TANTRI ආයතනයට ලබා දෙන අතර ඉන් අනතුරුව දුම්රිය මැදිරියේ චැසිය, බඳ කොටස හා ඇතුලත සියලු කටයුතු නිමාකර භාරදීම TANTRI ආයතනය විසින් කරනු ලැබේ.

එක් මැදිරියක් සම්පූර්ණ වශයෙන් අලුත්වැඩියාවට ලක්කිරීමට රුපියල් මිලියන 25 පමණ මුදලක් වැයවන බවත් විදේශ රට වලින් දුම්රිය මැදිරි මිලදීගෙන නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවා ලංකාවට ගෙන එන විට දුම්රියක මැදිරියක මිල මීට වඩා කිහිප ගුණයකින්ඉහල යන බවමෙහිදී අනාවරණය.

වැඩබිම නිරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් හා සාකච්ඡාවකට එක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ විශාල පිරිසකට රැකියාලැබෙනවා වගේම විශාල පිරිවැයක් ඉතිරි කරගත හැකි මෙම වැඩපිළිවෙල නොනවත්වා ඉදිරියට ගෙන යා යුතු බවයි. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව හා TANTRI ආයතනය එක්ව දැනට භාවිතා කරන ඇල්ල ඔඩිසි දුම්රිය වෙනුවට සුඛෝපබෝගී නව සංචාරක දුම්රියක් සෑදීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා රජයෙන්ලබා දිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමන් කටයුතු කරන බවත්ය.

මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍ය අධිකාරිඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසේකර මහතා ඇතළු දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්, TANTRI ට්‍රේඩර්ස් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රී මහතා ඇතුළු පිරිසක් එක් විය