55

"පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ආබාධිත සහන සේවා මධ්‍යස්ථානය" ජනතා අයිතියට පත් කෙරේ. "

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ආබාධිත සහන සේවා මධ්‍යස්ථානය" ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු ලලිත් දඅල්විස් මහතාගේ උපදෙස් පරිදි ලංගම සංවර්ධන, පුහුණු හා පර්යේෂණ කොට්ඨාසශය හා සිවිල්ඉංජිනේරු අංශය මගින් මෙහි ඉදිකිරීම් සිදුකර තිබේ.

දෙසැම්බර් මස 03 වෙනි දිනට යෙදෙන ලෝක ආබාධිත සැමරුම් දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතියට, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධිත ප්‍රජාව සඳහා සහන සැලසීමේ උපදේශන කාරක සභාවේ උපදෙස් සහ ශ්‍රී ලංකා ආබාධිතයින්ට සහන සැලසීමේ කොමිසමේ මාර්ගෝපදේශකත්වය හිමිව තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

54

2024 ශ්‍රී ලංකාවේ e mobility වසර වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන විදුලි හා විද්‍යුත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයේ (Green mobility exhibition and conference) නිල ලාංඡනය එළි දැක්වීම සහ දින ප්‍රකාශයට පත් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවනගරයේදී සිදු කෙරිණි.

දේශීය හා විදේශීය විදුලි හා විද්‍යුත් මෝටර් රථ හා උපාංග නිෂ්පාදකයින්, නව නිර්මාණකරුවන් ඇතුළුපාර්ශව රැසක දායකත්වයසහිතව එළඹෙන මාර්තු මස 22/ 23 /24 පිටිපන හරිත නගරය කේන්ද්‍ර කරගනිමින් විදුලි හා විද්‍යුත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත වේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය,කර්මාන්ත අමාත්‍යංශය, ඇතුළු අමාත්‍යාංශසහ රාජ්‍ය ආයතන රැසක් මෙන්ම පෞද්ගලික ව්‍යවසායකයින්, නිෂ්පාදකයින්, සරසවි සහ පාසැල් සිසුන්, කාර්මික හා තාක්ෂණ අංශයේ වෘත්තීය පාඨමාලා හදාරන සිසුන් නව නිර්මාණකරුවන් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයෙන් ජාත්‍යන්තර ප්‍රමිතින් යුතු මෙම ප්‍රදර්ශනය හා සමුළුව ශ්‍රී ලංකාවේ සාර්ථකව පැවැත්වීමේ අරමුණ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 52“වර්ථමාන රජයේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන කවුරුන් හෝ බලය ලබා ගත්තත් ඒ රජය පවත්වාගෙන යා හැක්කේ සති දෙකක කාලයක් පමණයි.”

අක්කරේපත්තුව ඩිපෝව යටතේ 2005 වසරේ සිට උප ඩිපෝවක් වශයෙන් ක්‍රියාත්මක වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පොතුවිල් උප ඩිපෝව ප්‍රධාන ඩිපෝවක් බවට පත් කිරීම සහ ඩිපෝවේ නවීකරණ කටයුතු සඳහා මුල්ගල තැබීම සිදු කෙරිණි.

පොතුවිල් හා අරුගම්බේ සංචාරක කලාප සම්බන්ධිකරණය කරමින් පොදු මගී ප්‍රවාහන සේවාවන් තව දුරටත් විධිමත් කිරීම හා පුළුල් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙතෙක්අක්කරේපත්තුවප්‍රධාන ඩිපෝව යටතේ උප ඩිපෝවක් ලෙස ක්‍රියාත්මක වූ පොතුවිල් උප ඩිපෝව මෙතැන් පටන් ප්‍රධාන ඩිපෝවක් ලෙස ජනතාව වෙත වඩාත් පුළුල් සේවාවක් සපයමින් ක්‍රියාත්මක වනු ඇති. රු. මිලියන 60ක ප්‍රතිපාදන යටතේ, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිතවේ.

"දීර්ඝ කාලයක් රටේ සංවර්ධන කටයුතු ඇණහිට තිබුණු තත්වයක් තුළ පොතුවිල් ඇතුළු නැගෙනහිර පළාතේ අලුත් සංවර්ධන වැඩපිළිවෙළක ආරම්භක අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකියියි. ඒ යටතේ පොතුවිල් හා ලාහුගල ප්‍රදේශ දෙකම ආවරණය වන පරිදි ඩිපෝ අධිකාරිවරයකු යටතේ පාලනය වන ප්‍රධාන ඩිපෝවක් ලෙස පොතුවිල් උප ඩිපෝව සංවර්ධනය කිරීමට ලැබීම තුළින් පළාතේ පොදු ප්‍රවාහන සේවය වඩාත් පලදායී ලෙස කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.එහි මූලික අදියර දෙසැම්බර් 31 වැනි දින වන විට අවසන් කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.ඉතිරි කොටස ලබන වසරේ මුල් පරිච්ඡේදය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වනවා. මෙහි ඉදිකිරීම සඳහා කිසිදු පෞද්ගලික කොන්ත්‍රාත්තුවක් ලබා දී නොමැති අතර රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රාජ්‍ය ආයතනයක් වශයෙන් එහි ඉදිකිරීම් භාරව කටයුතු කරනවා.

ආරුගම්බේශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකය පුරාම ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක්. ආරුගම්බේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ගමනට විශාල පිරිවැයක් දැරීමට සිදු වනවා.පෞද්ගලික රථයකින් එම ගමනාන්තය සඳහා රු.50000 ට අධික මුදලක් වැය වෙනවා. එය ඉතිහාසයට එකතු කරමින් හෙට දින සිට අධි සුඛෝපභෝගී බස් රථයකින් රුපියල් 2900 ක මුදලකට ආරුගම්බේ සිට ගුවන්තොටුපල දක්වා යෑමට නව බස් රථ සේවයක් ආරම්භ කිරීමට මේ සමග අප කටයුතු කරනවා.

දිවයිනේ ප්‍රධාන සංචාරක කලාප හරහා පොදු ප්‍රවාහන සේවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඇල්ල දක්වා ගමන් කරන ඇල්ල ඔඩෙසි දුම්රිය හෝ වෙනත් විකල්ප දුම්රියක්‌ හරහා ආරුගම්බේ ඇතුළු ප්‍රදේශ වලට ළඟාවීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

මේ සියළු සංවර්ධන කටයුතු සඳහා මුදල් සපයා ගැනීම ඉතාමත් බරපතල තත්වයක පවතිනවා. " පුපුරා යෑමට ආසන්න ගිනි කන්දක් උඩ තාච්චියක් තබාගෙන සොසේජස් කන ජාතියක් " වැනි ඉතාමත් අවදානම් තත්ත්වයක අප පසුවන බව පසුගියදා මා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එතරම් අවදානම් තත්ත්වයත් අපේරට පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති ඇතැම් දේශපාලනඥයන් රටට සඟවනවා. බංකොළොත් රටක් බව ලෝකයට නිල වශයෙන් ප්‍රකාශ කරමින් මේ වන විට වසර දෙකක් විදේශ ණය නොගෙන පවතිනවා.ඒ පිළිබද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ වැඩපිළිවෙළක නිරත වෙමින් පවතිනවා.තවමත් එය නිම වී නැහැ.2048 වසර දක්වාම අප විසින් ලබාගත් ණය කොටස් වශයෙන් ගෙවීමට අන්තර්ජාතික නීතිය යටතේ අප බැඳී සිටිනවා. මෙලෙස පත්ව සිටින නරකම තත්ත්වයෙන් රට ගොඩ ගැනීම පිණිස ජනාධිපතිතුමා පෞද්ගලිකවම අසීමිත කැපකිරීමක් සිදු කරමින් ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු රටවල රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධාන මුණගැසී සාකච්ඡා සිදු කළා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පොදු වැඩ පිළිවෙලකට මේ වන විට එකඟ වී තිබෙනවා.2027 දක්වා කෙටිකාලීන වැඩපිළිවෙළක්, ඉන් ඉදිරියට තවත් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඒ යටතේ සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 දක්වා කවුරුන් විසින් රටේ රාජ්‍ය බලය හෙබවූවත් ජාත්‍යන්තර වෙළඳ පොළට කිසිදු සංවර්ධන බැඳුම්කරයක් නිකුත් කිරීමේ හැකියාවක් අපේ රටට නැහැ. 2027 න් පසුවත් ලබාගත හැකි වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1500 ක් පමණයි. ඒ වන විට රටේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 14 දක්වා වැඩිවී තිබිය යුතුයි. එලෙස සැලැස්මකින් පමණයි රට පැවතිය හැක්කේ.

“මේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන කවුරුන් හෝ බලය ලබා ගත්තත් ඒ රජය පවත්වාගෙන යා හැක්කේ සති දෙකක කාලයක් පමණයි.” එසේ වුවහොත් බංකොලොත් රට තවත් බංකොලොත් වී අගාධයටම පත්වීමේ අවදානමක් පවතිනවා.මේ පවතින අර්බුදය පිළිබඳ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ක්‍රිකට් අර්බුදය ගැන තරම් වත් තැකීමක් සිදු කරන්නේ නැහැ.කවදා හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙකු මේ ණය ප්‍රමාණය ගෙවන ආකාරය පිළිබඳව රටට කරුණු පැහැදිලි කළ යුතුය.

එවැනි දැවැන්ත අර්බුදයක් හමුවේ සියලු සංවර්ධන කටයුතු ඇණ හිට තිබෙනවා. ඒ සියල්ල සිදු කරනු ලැබුවේ විදේශ ණය හා ආධාර යටතේ.මේ වන විට ඒ සියල්ල නතර වී තිබෙනවා.මේ ආර්ථික අර්බුදයට කිසිදු දේශපාලන විසඳුමක් නැහැ. සියලුම ජාති ආගම් භේද මගහැර රටේ දියුණුව ප්‍රාර්ථනා කරන ජනතාව එකට එක් වී කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි."

උත්සවයට සමගාමීව පොතුවිල් උප ඩිපෝවේ දීර්ඝ කාලයක් සේවය කල කාර්ය මණ්ඩලය අගයමින් උපහාර තිළිණ ප්‍රධානය කිරීමද අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සුරතින් සිදු විය.

අරුගම්බේ සිට පොතුවිල් හරහා කටුනායක ගුවන් තොටුපල දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදු කෙරෙන අධි සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කිරීමද මෙහිදී අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා, දිගමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතා, දිගමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් එම් මුෂාරාෆ් මහතා,ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා,රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේවේ සභාපති කුෂාන් දේවින්ද මහතා,ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 532024 ශ්‍රී ලංකාවේ e mobility වසර වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන විදුලි හා විද්‍යුත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයේ (Green mobility exhibition and conference) සංවිධාන කටයුතු පිලිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ කාර්යාලයේ දී පැවැත්විණි.

එළඹෙන මාර්තු මස 22/ 23 /24 පිටිපන හරිත නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ප්‍රදර්ශනයට සමගාමීව මෙරට e motaringප්‍රතිපත්තිය එළිදැක්වීම උදෙසා ක්ෂේත්‍රයේ ප්‍රයෝගික අත්දැකීම් සහිත ව්‍යවසායකයන් සහ ප්‍රවීනයන්ගේ අදහස් ලබාගැනීමද, ජාත්‍යන්තර ආයතනවල සහයෝගය සමගින් එය ප්‍රතිපත්තියක් ලෙස එළි දැක්වීම පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

එසේම විදුලි හා විද්‍යුත් රථ වාහන සහ උපාංග නිෂ්පාදන ක්ෂේත්‍රයන් හි නිරත දේශීය ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු හා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ඔවුන්ගේ අදහස් හා යෝජනා රැසක් ද මෙහිදී ඉදිරිපත් විය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා, මෙරට විදුලි හා විද්‍යුත් රථ වාහන නිෂ්පාදනයේ නිරත ප්‍රමුඛ සමාගම් රැසක ප්‍රධානීන් ඇතුළු නියෝජිතයින් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

 

 
51
 

"2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ රැඩිකල් වෙනස්කම් රාශියක් ඇති කරන හැරවුම් වසරක් බවට පත් කළ යුතුයි."

නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන ලෝක පොදු ප්‍රවාහන දිනයට සමගාමීව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය.

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හා එක්ව සංවිධානය කරන ලද පොදු ප්‍රවාහනයේදී කාන්තා හිංසනය පිටු දැකීම, සුරක්ෂිතතාවය හා සුව පහසුව තහවුරු කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ වූ අතර ඊට සමගාමීව බස් රථ වලදැනුවත් කිරීමේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

පොදු මගී ප්‍රවාහන බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ වෛද්‍ය සායනයක් ද බහුවිධ පවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් වායු විමෝචන දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාත්මක විය.

"අප රට තුළ මෙන්ම ලෝකයේද ජනතාවගේ මගී ප්‍රවාහන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ඉටු කරන්නේ බස්රථ, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් තුළින්. මේ වට විට පැවැත්වෙන ප්‍රවාහනය හා සම්බන්ධජාත්‍යන්තර සමුළු හා සම්මන්ත්‍රණ වලදී අනාගත ලෝකයේ ප්‍රමුඛතම මගී ප්‍රවාහන මාධ්‍ය ලෙස විදුලි දුම්රිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙමින් පවතිනවා.2030/2050 වන විට රටවල් තුළ සහ රටවල් අතර ප්‍රවාහනය සඳහා විදුලි දුම්රිය ප්‍රධාන මාධ්‍යය බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කයක්.

වඩාත් සුරක්ෂිත, විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායි ගමනාගමන සේවයක් සඳහා ජනතාව වැඩි වශයෙන් විදුලි දුම්රිය වෙත යොමු වනු ඇති බව සැලසුම්කරුවන්ගේ අදහසයි. ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් රටවල් අතර විදුලි දුම්රිය සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. චීනය කේන්ද්‍ර කරගත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහන වැනි බොහෝ වැඩසටහන් යටතේලෝකයේ රටවල් රැසක් ඒකාබද්ධ කෙරෙන මෙවැනි විදුලි දුම්රිය පද්ධතීන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව 2050 වසර පමණ වන විට ලෝකයේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය බවට විදුලි දුම්රිය සේවය පත්වනු ඇති.

එම දිශානතිය උදෙසා ගමන් කිරීමට මේ වන විට එකදු විදුලි දුම්රිය මාර්ගයක් හෝ නොමැති ශ්‍රී ලංකාවේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා කිලෝමීටර් 60ක පමණ දුර ප්‍රමාණය විදුලි දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමේ උත්සාහයඅප දරමින් සිටිනවා.

එමෙන්ම දැනට ලංකාව තුළ පවතින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අමතරව ජපන් ජාත්‍යන්තර සහයෝගිතාවය යටතේ එළඹෙන වසර තුළ අවම වශයෙන් තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන තුනක් හෝ ශ්‍රී ලංකාව තුල ආරම්භ කිරීමටබලාපොරොත්තු වනවා. ඒ අනුව කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වලින් විශාල ප්‍රමාණයක් මේ වනවිට අවසන්ව පවතිනවා. එය නිම කිරීමේ වගකීම ලබන වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකු ආධාර යටතේ මහනුවර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමි වුණා. දීර්ඝ කාලයක් ප්‍රමාද ව පැවතිමෙම ව්‍යාපෘතිය ලබන වසර තුළ ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය, මධ්‍යම බස් නැවතුම් පොළ, බැස්ටියන් මාවත බස් නැවතුම්පළ යන මේ ස්ථාන සියල්ල ඒකාබද්ධ කරමින් මහ කොළඹ මහ නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන්ට සිදුවන කරදර හිරිහැර හේතුවෙන් බියෙන් හා සැකයෙන් තොරව ගමන් කිරීමේ නොහැකියාව වැනි ගැටලු සඳහා සමාජයේ වැඩි අවධානයක් යොමු කිරීම මෙවර පොදු ප්‍රවාහන දිනයේ තේමාවයි. මෙම තත්ත්වයන් අවම කිරීම උදෙසා ප්‍රබුද්ධ සාකච්ඡාවක් ඇති කිරීම සඳහා මෙවර ප්‍රවාහන දිනය යොදාගැනීම ලෝකයේම එකඟතාවයයි.

ඒ අරමුණින් කාන්තාවන්ට ආරක්ෂා සහිතව කිසිදු බියක් හෝ සැකයකින් තොරව පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම සඳහා වන සංවාදයක් රට තුල ඇති විය යුතුයි.

එළැඹෙන 2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ රැඩිකල් වෙනස්කම් රාශියක් ඇති කරන හැරවුම් වසරක් බවට පරිවර්තනය කිරීම සඳහා වන ඉලක්කයට අප සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුයි."

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගමමහතා, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නියෝජිතයින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.