FB IMG 1705984436570

කොලොම්පුර චාරිකා" නමින් සංචාරකයින් සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය් වසර 66ක ඉතිහාසය තුල ප්‍රථම වරට විදේශ සංචාරකයින් හා සංචාරයන් සඳහා ඇල්මක් දක්වන ශ්‍රී ලාංකිකයින් මුල් කරගෙන දිවයිනේ ඇති සංචාරක කලාප ආවරණය වන පරිදි විශේෂ සුඛෝපභෝගී බස්රථ සේවාවක් සැලසුම් කර ඇත. ඒ සදහා යොදාගැනීමට නියමිත බස් රථ කිහිපයක් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මුල් අදියරේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක වළලු හතරක් හඳුන්වාදී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැගෙන අතර

මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියදුරු මහතෙකු, කොන්දොස්තර මහතෙකු හා සේවා සපයන්නෙක් යොදා ගැනේ.

නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය බලාපොරොත්තු වේ.

ලංකාව තුළ බහු ආගමික, බහු වාර්ගික ජනතාව ජීවත්වන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වැදගත් ආගමික ස්ථාන කිහිපයකුත් මෙම සංචාරක වළලු අතරට එක්කර ඒවායේ ඇති ඓතිහාසික දේ ගැන සංචාරකයින්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම මෙම බස් රථ සේවාව විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන ආරම්භ කරන්නක් බැවින් ඒ සඳහා ගමනාගමන මණ්ඩලය සතු විනීත, විනයගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් යොදාගන්නා ලෙසද පැවසීය.

මෙම අවස්ථාවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය

FB IMG 1705984475603

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරවලින් තොරව දුමිරිය ගොඩනැගීම සිදුකල නොහැක”

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක දුම්රිය කාර්යක්ෂමතාවය නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන ජර්මානු දුම්රිය තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබන දුම්රිය සමායවික(simulator) ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සමස්ථ ආයෝජනය රු. කෝටි 45ක්‌ වන මෙම ව්‍යාපෘතිය යටතේ,රුපියල් මිලියන 48ක පිරිවැයකින් ඉදි කෙරෙන මෙම ගොඩනැගිල්ල තුල සියලු පහසුකම් සහිතව ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම වරට දුම්රිය මාර්ග පථයන් සහ සංඥා පද්ධති ආශ්‍රයෙන් S 14 එන්ජිමක ආකෘතියක් ලෙස මෙම සමායවිකය ස්ථාපනය කෙරෙනු ඇත.
එන්ජින් සමායවික(simulator) පුහුණු කුටියක්, එකවර රියදුරන් අට දෙනෙකුට සහ පුහුණු උපදේශකවරයෙකු සඳහා අවශ්‍ය පහසුකම් ඒ තුළ ඇතුළත් වේ.
මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ නව වාහන සේවා මධ්‍යස්ථානය ද අමාත්‍යතුමාගේ සුරතින් විවෘත විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"වර්තමානය වන විට අප සිතනවාට වඩා ඉතාමත් වැඩි වේගයකින් තාක්ෂණයේ සහ දැනුමේ දියුණුවක් දක්නට ලැබෙනවා. මෑතකදී නිකුත් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවකට අනුව කෘතිම බුද්ධිය හේතු කර ගනිමින් සංවර්ධිත රටවල සේවා නියුක්තියට 60% පමණ බලපෑමක් සිදුවන බව වර්තා වී තිබෙනවා. සංවර්ධනය වන රටවලට එහි බලපෑම 40%ක්‌ රැකියා සම්බන්ධව ඇතිවන බව පෙන්වා දී තිබෙනවා. මේ සියලු තත්වයන් මත අනාගතයට ගැලපෙන ආකාරයේ තාක්ෂණය සහිත පුහුණුවීම තරුණ පරපුර වෙත ලබා නොදීම,අපේ රට ඉතාමත් පසුගාමී තත්ත්වයකට පසු පත්වීමට හේතු වනු ඇති. නිදහසට පෙර යුරෝපීය යටත් විජිතයක් ලෙස පවතින සමයේදී ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් ඉංග්‍රීසි ජාතිකයින් විසින් දුම්රිය සේවය හඳුන්වා දෙනු ලැබුවා. නමුත් මේ වනවිට දුම්රිය සේවය සම්බන්ධයෙන් ඉන්දියාව අපට වඩා ඉතාමත් ඉහළ දියුණුවක් ලබාගෙන තිබෙනවා. තවත් වසර කිහිපයක් ගතවන විට ඉන්දියාවේ සියලු දුම්රිය, විදුලි දුම්රිය පවට පරිවර්තනය වීමට නියමිතයි. ඒ අනුව මෙරට හිටපු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා හරහා මා විසින් ඉන්දියානු රජයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව පවතින දුම්රිය හිඟයට විසඳුමක් ලෙස දැනට ඉතාමත් හොඳ ධාවන තත්වයේ පවතින දුම්රිය එන්ජින් විස්සක් ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා. අමතර කොටස් ලබා ගැනීම සඳහා තවත් දුම්රියෙන් තුනක් ද ලැබීමට නියමිතයි.ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු නියෝජිත පිරිසක් ඉන්දියාවට යොමු කරනු ලැබුවා. ඒ වෙනුවෙන් සියලු වියදම් ඉන්දියානු රජය දැරූ අතර ශ්‍රී ලංකාව රජයට දැරීමට සිදුවූයේ ඩොලර් 400ක වියදමක් පමණයි.
නමුත් පසුගිය සති අන්තයේ ජාතික පුවත්පතක මුල් පිටුවේ මේ පිළිබඳ ඉතාමත් සාවද්‍ය ප්‍රවෘත්තියක් පළ කර තිබුණා. රටට යමක් නොමිලේ ලැබීම පිළිබඳවත් ඇතමුන්ට පවතින්නේ කාලකණ්නි සතුටක්. කෙසේ නමුත් නිදහසින් පසු විදේශීය රටකින් මෙවැනි පරිත්‍යාගයක් හිමි වන ප්‍රථම අවස්ථාව ලෙස ඉදිරි මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා.
ඉතිහාසය පුරාමත් දේශීය හා විදේශීය වශයෙන් අප විශාල වශයෙන් ණය ලබාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතියද විදේශ ණයක්. ආසියානු සංවර්ධන බැංකුව මගින් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1170 ක් ලබාදී තිබෙනවා. නිදහසින් පසු රටේ සියලුම දුම්රිය මාර්ග සංවර්ධනය කර තිබෙන්නේ ඒ ආකාරයෙන් ලබාගත් විදේශ ණය මගින්. ණය වලින් තොරව පවත්වාගෙන ගිය රජයක් ලංකා ඉතිහාසය තුළ නැහැ.
විශාල විදේශ ණය ආධාර ප්‍රමාණයකින් තොරව දුම්රියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ හැකියාවක් නැහැ. පවතින එක් මාර්ගයක් හෝ විදුලි දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය කරගැනීමට විශාල උත්සාහයක අප නිරත වනවා. ඒ සඳහා ස්ටේෂන් ප්ලාසා සංකල්පය මෙවර අයවැය යෝජනාවක් ලෙස ඇතුලත් කර තිබෙනවා. ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් මේ වන විටත් එම සංකල්පය තුළින් සුවිශාල ආයෝජන සිදු කරමින් පවතිනවා.

මේ වනවිට රට පත්ව තිබුණු ආර්ථික අර්බුදයෙන් හිස එසවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පැරිස් ආධාර සමුළුව වැනි අන්තර්ජාතික ආයතන සහ මිත්‍ර රටවල් රැසක සහයෝගයෙන් සහ එකඟතාවයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකයි. එම වැඩපිළිවෙලට එහා යමින් කිසිවෙකුටත් ඉදිරියේදී රජයක් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම නිසා කවුරුන් විසින් ආණ්ඩු බලය හිමි කරගත්තත් මෙම එකඟතාවයන්ට අනුව සකසාගත් වැඩ පිළිවෙළට අනුව කටයුතු කළ යුතුයි. මේ සියලු සංවිධාන සහ රටවල් සමඟ එකඟ වූ වැඩපිළිවෙළට කිසිවෙකු පයින් ගැසීමට සූදානම් වනවා නම් එම රට සමග ආර්ථික සබඳතා පැවැත්වීමට කිසිවෙකු සූදානම් නැහැ. එවන් වූ අනතුරුදායක තත්ත්වයක් මත හිඳිමින් මේ සියලු කටයුතු කිරීමට සිදුව තිබෙනවා.
ඒ අනතුරින් මිදී යහපත් රටක් බිහි කර ගැනීම වෙනුවෙන් සියලු දෙනා එක්ව වැඩි වැඩියෙන් වැඩ කිරීම අත්‍යවශ්‍යයි. එහිදී පවතින මානව සම්පත, පුහුණු මානව සම්පතක් බවට පත්කිරීම කෙටි කාලීන වශයෙන් ඉතාමත් වැදගත්. ඒ පිළිබඳ අනාගතය දකිමින් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයෙහි උසස් පෙළ සඳහා තාක්ෂණවේදී විෂය ධාරාව හඳුන්වාදීමට මා පියවර ගත්තා. එමෙන්ම ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා ලෙස දුම්රිය වෘත්තීය පුහුණු ආයතනය වෙත කිහිප වතාවක් පැමිණෙමින් රුසියාව බෙලරුසියාව සමඟ සාකච්ඡා කර මෙම වෘත්තීය පුහුණු ආයතනය එම රටවල්වල පවතින වෘත්තීය පුහුණු විශ්ව විද්‍යාල හා සමගාමී මට්ටමකට ගෙන ඒම සඳහා අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබනු ලැබුවා. ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව රුසියාවේ පවතින දුම්රිය හා ප්‍රවාහන විශ්ව විද්‍යාලවල සිසුන් වෙත වෘත්තිය අධ්‍යාපනය ලබාදීම සිදුවනවා. තිස් දහසකට අධික දේශීය හා විදේශීය සිසුන් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයය හදාරනවා. එම රටවල දැනුම සහ පලපුරුද්ද ලබා ගනිමින් එම තත්ත්වයට පත්වීමේ හැකියාව අපටද පවතිනවා. අපි දරුවන් සතු ඒ ශක්තිය පවතිනවා. මෙතෙක් කාලයක් බොරු දේශපාලන සටන් පාඨ වලට රැවටෙමින් මහ පොළොවේ පවතින යථාර්ථයෙන් ඔබ්බට යෑමේ ඵල විපාක මේ වන විට භුක්ති විඳිමින් සිටිනවා. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින වසර හැට හැත්තෑවකට වඩා ඉපැරණි දුම්රිය එන්ජින් පවා තවදුරටත් ධාවන තත්ත්වයේ පවත්වාගෙන යෑමට කටයුතු කරන අපගේ දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු තාක්ෂණවේදීන් මා සතුටට පත්වනවා."

දුම්රිය සාමාන්‍යාධිකාරී එච් එම් කේ ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඉංජිනේරු ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය, ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපනය හදාරන කාර්මික සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

FB IMG 1705984383524

"දේශපාලනඥයින් විසින් කවර ප්‍රකාශ සිදු කළත් රජයක් පවත්වාගත යුතු වන්නේ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමිනුයි."

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ කලක් සේවයේ නිරතව සිට විවිධ හේතූන් මත සේවයට වාර්තා නොකිරීම ඇතුළු හේතූන් මත සේවය අහිමි වූ කාර්ය මණ්ඩල සමාජිකයින් පිරිසක් ඉදිරිපත් කරන ලද අභියාචනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත් පිරිසක්‌ නැවත සේවයේ පිහිටුවීම සහ නවක රියදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිනි.

මෙහිදී පත්වීම්ලාභීන් අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" පවතින ආර්ථික අභියෝගකාරී තත්ත්වය හමුවේ තවත් වසර තුනක් දක්වා රාජ්‍ය සේවයෙහි කිසිදු බඳවා ගැනීමක් සිදු වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන මූල්‍ය එකඟතාවයන් වලට අනුව නව බඳවා ගැනීම් සිදුකර එම පිරිස් වෙත වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් පොදු ප්‍රවාහනය වෙත ලබාදිය යුතු අනිවාර්ය ප්‍රමුඛතාවය පිළිබඳ සැලකිල්ල යොමු කරමින් විශේෂ අනුමැතියක් මත අත්‍යවශ්‍ය රියදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිවුණා.පාසල් දරුවන් රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාවගෙන් වැඩි පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ වන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය මගින්. පාසල් සිසුන් වැඩි ප්‍රමාණයක් මාසික වාර ප්‍රවේශ පත්‍ර මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් මේ වසරේ වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් බිලියන 20ක්‌ අවශ්‍ය වන බවට ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නමුත් මේ වනවිට වෙන්කර තිබෙන්නේ බිලියන 10ක්‌ පමණයි. එම නිසා පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඉතිරි මුදල වෙන්කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම පාසල් 5331කට සිසු සැරිය බස් රථ සේවාව මගින් ප්‍රවාහන පහසුකම් සලසනු ලබනවා. දෛනිකව රාජ්‍ය සේවයට පැමිණෙන පිරිසට ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍යයි.

මෙම කරුණු සියල්ලක් පිළිබඳ සලකා බලමින් අප මෙම අමාත්‍යංශයේ වගකීම බාර ගැනීමෙන් අනතුරුව දේශපාලන හිතවත්කම් වලින් තොරව ක්ෂේත්‍රය පිළිබඳ මනා පලපුරුද්දක් සහිත ඉංජිනේරුවරයකු එහි සභාපති ධුරයට පත් කරනු ලැබුවා. හොරකම, වංචාව, දූෂණය, අක්‍රමිකතා ආදිය නතර කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මූල්‍ය වංචා සම්බන්ධව වැරදිකරුවන් වන ඕනෑම කෙනෙකුට රැකියාව අහිමි වෙනවා. මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ඒකකයක් පිහිටුවා තිබෙනවා.
දිනකට ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු ඩිපෝවල අදායමෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් අහිමිව යනවා. මෙම තත්ත්වය මැඩපවත්වීම සඳහා තවත් මාස දෙකක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය ඇතුළත් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඒ තුළින් ලබන ලාභයෙන් කොටසක් නැවතත් කාර්ය මණ්ඩල වෙත ප්‍රසාද දීමනා, දිරි දීමනා ලෙස ලබා දීමේ හැකියාව පවතිනවා.

පසුගිය වසරේ නව බස් රථ පන්සියයක් ධාවනයට එක් කිරීමට හැකියාව ලැබුණු අතරම මේ වසරේ තවත් බස් රථ දහසක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම වසර තුළ අනිවාර්යයෙන්ම ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත්විය යුතුයි. පවතින දුර්වලතා මඟ හරවා ගනිමින් ලංගම නැවතත් ගෞරවාන්විත ආයතනයක් ලෙසින් ගොඩනගන්නට සියලු දෙනා කැපවිය යුතුයි. කවර හෝ රැකියාවක් අවංකව සිදු කිරීම තුළින් රැකියාව තුළ අභිමානයක් මෙන්ම ඇගයීමක්ද සිදුවනවා.

රට තුළ පවතින තත්ත්වය පිළිබඳව දේශපාලනඥයින් විසින් කවර ප්‍රකාශ සිදු කළත් රජයක් පවත්වාගත යුතු වන්නේ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමිනුයි. ජාත්‍යන්තර වශයෙන් එළැඹී ඇති ගිවිසුම් එකඟතා ප්‍රකාරව කවර රජයක් වුවත් කටයුතු කිරීම අවශ්‍යයි. එම නිසා මෙම අපහසු අවස්ථාවේ සැමට පැවරෙන වගකීම නිසි අයුරින් ඉටු කිරීම සඳහා සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතුයි."

මෙම අවස්ථාව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා ඇතුළු ලංගම කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, පත්වීම් ලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

FB IMG 1705984516896

දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අලුතින් ස්ථාපිත වාහන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදුවිය.
ඉදිරියේදී මෙම සේවා මධ්‍යස්ථානය පුළුල් කර දුමිරිය දෙපාර්තුමේන්තුව සතු සියලුම වාහනවලට සේවා සැපයීම මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පිරිවැයක් ඉතිරිකර ගැනීමට මෙන්ම පුද්ගලික අංශයටද සේවා සැපයීමට හැකිනම් අමතර ආදායමක් උපයා ගැනීමට හැකි බවද විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍ය අධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර, දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (කාර්මික) කීර්ති හේවාවිතාරණ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.

FB IMG 1705984301741

මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ගල්ගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් යටතේ, ඉන්දියානු ඉර්කෝන් ජාත්‍යන්තර සමාගම මගින් මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබයි. සමස්ත ව්‍යාපෘතියේ ගිවිසුම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91.27ක්‌ (රු. මිලියන 30,000)වේ. කි. මී.128 ක දුරක් ආවරණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සමස්ථ ඉදිකිරීම් මෙම වසරේ ජූලි මස 06 වනදා අවසන් කිරීමට නියමිත වුවත්, අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි පොසොන් පෝය නිමිති කරගනිමින් ජුනි මස 15 වන දින වැඩ අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ඉදිකිරීම් භාරව කටයුතු කරන ජාත්‍යන්තර සමාගම එකඟතාවය පළ කර තිබේ.

සමස්ත ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුරය දක්වා කොටස යටතේ කිලෝමීටර් 65 ක දුරක්, පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි නවීකරණය කිරීමට නියමිත වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් ඉරිනා ටාකූර් මහත්මිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉන්දීය ඉර්කොන් සමාගමේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.