WhatsApp Image 2024 02 18 at 12.39.33 1

නව විද්‍යුත් රියදුරු බලපත්‍ර ක්‍රමය හඳුන්වා දීමේ වැඩසටහන යටතේ ඊට අවශ්‍ය ඡායාරූප ලබාගැනීමේදී මාර්ගගත ක්‍රමයට එම ඡායාරූප ලබා ගැනීම සඳහා තමන් වෙත නීත්‍යානුකූල අයිතියක් ලබා දෙන ලෙස සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් සිදුකරන ලදි.

ඒ අනුව මීට පෙර සාමාන්‍ය රියදුරු බලපත් ලබාගැනීමේදී බලපත් හිමියන්ගේ ඡායාරූප දිවයින පුරා ඡායාරූප ශාලාවලින් ලබාගත් ආකාරයටම මාර්ගගත ක්‍රමයට විද්‍යුත් රියදුරු බලපත්‍රයේ සඳහා අවශ්‍ය ඡායාරූප ලබාගැනීම සඳහා සමස්ත ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් වෙත අවස්ථාව ලබාදීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ඉල්ලීම පරිදි විෂය බර අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන පරිගණක මෘදුකාංග පද්ධතිය ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීමෙන් අනතුරුව විද්‍යුත් රියදුරු බලපත්‍රය සඳහා මාර්ගගත ක්‍රමයට අවශ්‍ය ඡායාරූප ලබාගැනීමේ අවස්ථාව දිවයින පුරා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සාමාජික ඡායාරූප ශාලා ශාලා වෙත හිමිවනු ඇති.

මේ පිළිබඳ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති සාකච්ඡාව සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක මහතා ඇතුළු සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

WhatsApp Image 2024 02 18 at 12.39.33

"ඊශ්‍රායලයේ අති දියුණු නවෝත්පාදන තාක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අතිශයින් වැදගත්. "

මෙරට සංචාරයක නිරත ඊශ්‍රායල් ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂණ අමාත්‍ය මිරි රෙගේව් (Miri Regev) මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙරටේ අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවිය.
විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ප්‍රවාහන, කෘෂිකාර්මික, කාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් උදෙසා භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සහ දැනුම ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම ඊශ්‍රායලයේ අති දියුණු නවෝත්පාදන තාක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වන විටත් ශ්‍රී ලාංකිකයින් දස දහසකට අධික ප්‍රමාණයක් ඉතාමත් ඉහළ වැටුප් සහ දීමනා යටතේ වඩාත් සුරක්ෂිත, සුවපහසු වතාවරණයක් යටතේ එරටේ රැකියාවන්හි නිරත වන බවත්, ඉදිරියේදිත් මෙරට පුහුණු ශ්‍රමිකයන්ට එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතුළුව අනෙකුත් ක්ෂේත්‍රයන් හී පවතින රැකියා සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම පිළිබඳවද ඊශ්‍රායල් ප්‍රවාහන අමාත්‍යතුමිය මෙහිදී අදහස් පල කළේය.
සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය වෙනුවෙන් ඉදිරියේදී ඊශ්‍රායලය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සංචාරක ගුවන් සේවාවන්, නාවික ක්ෂේත්‍රයේ භාණ්ඩ ප්‍රවාහනය සහ නාවික ප්‍රවාහනයේ ආරක්ෂාවට සම්බන්ධ කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඕර් ගිලන් (Naor Gilon) මහතා, ඊශ්‍රායල් ප්‍රවාහන අමාත්‍යංශයේ යටිතල පහසුකම් හා සම්බන්ධීකරණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අව්නේර් ෆ්ලෝර් (Avner Flor)මහතා, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා කොන්සල් දිනේෂ් රොඩ්රිගෝ මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශිකා ජයසේකර මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

FB IMG 1706843481843

ශ්‍රී ලංකා ගමනාකමට මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයටයට අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ අධි සුඛෝපභෝගී බස් රථ 17ක් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කිරීම ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් රත්මලාන පරිශ්‍රයේදී පුනරුත්ථාපනය කෙරුණු මෙම බස් රථ අලුත්වැඩියාවන් සඳහා වැය වී තිබෙන්නේ රුපියල් මිලියන දහයකට වඩා අඩු මුදලක් වීම විශේෂත්වයකි. මෙම එක් බස් රථයක් අධිවේගී මාර්ග තුළ ධාවනය කිරීම තුළින් දිනකට රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා ගත හැකි වේ.
අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා විසින් අධීක්ෂණ නිලධාරී වශයෙන් ඉංජිනේරු කුශාන් වෑගොඩපොල මහතා පත් කර මෙම බස් රථ පුනරුත්ථාපනය කිරීම පිළිබඳ වගකීම පවරන ලදී. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසය වන විට මිලියන 19ක් වූ ආයතනයේ ආදායම මෙම ජනවාරි මාසය වන විට මිලියන 42 දක්වා වර්ධනය වී ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අද දිනය ශ්‍රී ලංකාවේ කළමනාකරණ ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සහ අලුත් අගයක් එකතු කරන දිනයක්. කලක් තිස්සේ පැවති අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය තුළ දැවැන්ත කඩා වැටීමක් සිදුවී පැවතුනා. මේ තත්ත්වය මත ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මා නව සභාපතිවරයෙකු පත් කරනු ලැබුවේ වංචාව දුෂණය, අක්‍රමිකතාවය පිටුදැක ඵලදායී, කාර්යක්ෂම ලාබ ලබන ආයතනයක්‌ බවට පත් කිරීමේ වගකීම සමඟයි. 2025 වසරේදී නිසි ආකාරයෙන් මහජන සේවය සපයන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ ඉලක්කය ලබාදී තිබෙනවා.
මීට වසරකට පෙර මෙම ස්ථානයට අප පැමිණෙන විට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද ඉතාමත් වටිනාකමින් ඉහළ අධිසුඛෝපභෝගි මෙම බස්රථ කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි පරිදි ගාල් කර පැවතුනා. අමතර කොටස්, එන්ජින් ආදී යාන්ත්‍රික කොටස් හිඟය,විදේශ විනිමය හිඟය ආදී කරුණු සලකා බලමින් මෙම බස්රථ පුනරුත්තාපනය කිරීම සඳහා දේශීය හා විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෘත්තිකයෙකු වන කුෂාන් වෑගොඩපොළ මහතා වෙත එම වගකීම පවරනු ලැබුවා.පසුගිය වසරේ චීනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙම බස්රථ නිෂ්පාදන සමාගම සමග සාකච්ඡා කර මෙම බස් රථවලට අවශ්‍ය අමතර කොටස් අතරමැදියන්ගෙන් තොරව සෘජුවම සහනදායී මිලකට ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් නිරත වුණා.
එලෙස ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල සාර්ථකත්වයට පත්කරමින් මේ වන විට අධිවේගී මාර්ගයේ ධාවනය කළ හැකි මට්ටමට බස්රථ 17ක් පුනරුත්ථාපනය කිරීමට හැකියාව ලැබීම සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ තුළින් ලක්ෂ දහසකට වඩා වටිනාකමින් යුතු බස්රථ ප්‍රමාණයක් රුපියල් මිලියන 100ක පමණ වියදමකින් ධාවනයට එක් කිරීමට ලැබීම ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ අතිශය වැදගත් කඩ ඉමක් බවට පත් වනවා.
වර්තමානයේ මෙම අධි සුඛෝපභෝගී බස් රථයක වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 600කට වඩා අධික වනවා. එවැනි ඉහළ වටිනාමකමකින් යුතු මෙම බස්රථ මිලියන දහයක පමණ අවම පිරිවැයකින් අලුත් වැඩියා කිරීමට දායක වූ සියලු දෙනාට විෂය භාර අමාත්‍යවරයා ලෙස මාගේ ගෞරවය පිරිනමනවා. තවත් නොබෝ දිනකින් ලංගම සේවා ව්‍යවස්ථාව අවසන් කිරීමෙන් අනතුරුව පවත්වන සමුළුවේදී මීට දායක වූ සියලු දෙනාටම විශේෂ ඇගයීමක්‌ සිදු කිරීමටද අප පියවර ගන්නවා.
අවංක කැපවීමකින් කටයුතු කරන්නේ නම් වැටුණු රට ගොඩ ගැනීම සඳහා මෙලෙස ඉවත දමා ඇති රාජ්‍ය අංශය සතු වත්කම් රාශියක් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ශක්තිය සහ හැකියාව සහිත වෘත්තිකයින්, කාර්මිකයින් අපේ රට තුළ සිටිනවා. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් සහ නිවැරදි මගපෙන්වීමක් සිදුකිරීම තුළින් අම්බලන්ව පවතින ඉතිරි බස් රථ ප්‍රමාණයද මාස කිහිපයක් ඇතුළත පුනරුත්ථාපනය කර ධාවන තත්ත්වයට පත් කළ හැකි බව මා විශ්වාස කරනවා. ඒ තුළින් අධිවේගී මාර්ග තුළ ලංගමට ධාවනය කළ හැකි මුළු බස් රථ ප්‍රමාණයම ධාවනය යෙදවීම තුලින් මේ වසර තුරුම ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇති. ඒ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන මගින් ලැබෙන දායකත්වයද විශේෂයෙන් අගය කළ යුතු වනවා."

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ අධීක්ෂණ නිලධාරී ඉංජිනේරු කුෂාන් වෑගොඩපොල මහතා,රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා ඇතුළු නිලධාරීන්, ලංගම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

FB IMG 1707706971803

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200ක්‌ පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කිරීම ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පසුගිය වසරේ ජනවාරි මාසය වන විට ලංගම ඩිපෝවල බස් රථ 852ක් ධාවනයෙන් ඉවත් කර තිබූ අතර, දිවයින පුරා ලංගම ඩිපෝ 107ක, ප්‍රාදේශීය වැඩපොළවල් 11ක ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් විසින් මෙම බස්රථ පුනරුත්ථාපනය කිරීම ආරම්භ කරන ලදී.

2023 වසර තුළ ආරම්භ කරන ලද මෙම බස් රථ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 193 ක් පුනරුත්ථාපනය කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 193ක් වේ.

එහි දෙවන අදියර යටතේ බස් රථ 201ක්‌ පුනරුත්ථාපනය කර ඇත. ඒ සඳහා සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 270ක්‌ වේ. නව බස්රථ 200ක්‌ මිලදී ගන්නේ නම් වර්තමාන මිල යටතේ රුපියල් මිලියන 4200ක්‌ පමණ වැය කිරීමට සිදුවේ. මෙලෙස පුනරුත්ථාපනය කරන ලද බස් රථ දෛනිකව ධාවනයට යෙදවීමෙන් රුපියල් මිලියන 10ක පමණ දෛනික ආදායමක් ලබාගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාව ලැබේ. ඉන් ලැබෙන ශුද්ධ ලාභය රුපියල් මිලියන 4කි. ඒ අනුව පුනරුත්ථාපනය කරන ලද මෙම බස් රථ දෙසිය ධාවනය කිරීමෙන් රුපියල් මිලියන 1200ක උපරිම ශුද්ධ ලාභයක් - රු. මිලියන 900ක අවම ශුද්ධ ලාභයක් වාර්ෂිකව ලබාගැනීමට හැකිවේ.

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බස් රථ නැවත ධාවනයට එක් කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි මහතා, චාමර සම්පත් දසනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ මහතා, ගුණතිලක රාජපක්ෂ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

FB IMG 1706843572235

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන "2024 භාරත් ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharath Mobility Expo 2024) විශේෂ ආරාධිතයකු ලෙස ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්විය.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ඉන්දියානු සහ ජාත්‍යන්තර මෝටර් රථ වාහන නිෂ්පාදන සහ ව්‍යවසායක ක්ෂේත්‍රයේ ආයෝජකයින්, නව නිපැයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් තම නිෂ්පාදන සහ නිර්මාණ ඉදිරිපත් කර ඇත.
විශේෂයෙන් විද්‍යුත් රථවාහන, උපන්ක ඇතුළු නව නිෂ්පාදන රැසක් මෙහිදී එළිදැක්වීමද විශේෂත්වයකි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංචරණ ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාවේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වන ඉන්දීය සහ විදේශීය ආයෝජකයින්, නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් දායක කර ගැනීමද අමාත්‍යවරයාගේ අරමුණයි.

ප්‍රදර්ශනයට එක් වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සිය මෝටර් රථ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කර ඇති සමාගම් රැසක අති නවීන මගී ප්‍රවාහන බස් රථ ඇතුළු නව නිෂ්පාදන නිරීක්‍ෂණයටද එක්වූ අතර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධානීන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවලද නිරත විය.