3A5A3033

රජයට අයත් සීමාසහිත ලක්දිව ඉංජිනේරු සමාගමේදී අළුත්වැඩියා කෙරුණු බස් රථ 9 ක් හා ආපදා රථයක් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදීම ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020-09-28 දින ජාඇල ලක්දිව ඉංජිනේරු සමාගම් වැඩ බිමේදි සිදු කෙරිණි.

මෙහිදී අමාත්‍යවරුන් දෙපල අතින් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වෙත මෙම බස් රථ හා ආපදා රථයේ යතුරු භාරදීම සිදු කෙරිණ.නිකවැරටිය , මාතර ,පානදුර, කිරිදිවැල, අළුත්ගම, කැස්බෑව, ඇල්පිටිය හා ගල්ගමුව යන ඩිපෝවලට මෙම බස් රථ ද රඹුක්කන ඩිපෝවට ආපදා රථයද ලබා දුනි.

මෙහිදි අදහස් දැක්වු ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මැතිතුමා ‘‘දැනට දිවයිනේ සියළුම ප්‍රදේශවලට අයත් ඩිපෝවල තිබෙන ගර්භිත බස්රථ අතීතයේදි මෙන් වෙන්දේසි නොකොට ලක්දිව ඉංජිනේරු සමාගම මගින් මෙලෙස අළුත්වැඩියා කොට නැවතත් මගී ජනතාවගේ ප්‍රයෝජනය සදහා ලබා දීමට කටයුතු කරන බව දැන් වු අතර, මෙම ලක්දිව ඉංජිනේරු සමාගම ඉතාමත් අමාරුවෙන් පවත්වාගෙන යන ආයතනයක් වුවත් වර්තමානයේ පාලක පක්ෂය හා සේවකයින් මහත් උනන්දුවෙන් කටයුතු කරමින් ආයතනය නගා සිටුවීම සදහා කැපවීමෙන් කටයුතු කර ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ අළුත්වැඩියා කිරිමේ කටයුතු සාර්ථකව කරගෙන යාම පැසසුමට ලක් කළේය. ඉදිරියේදි බස්රථවල බෝඩිය පමණක් නොව, යාන්ත්‍රික කොටස්වල අළුත්වැඩියාවන්ද සිදුකල හැකි පරිදි එම ආයතනය වැඩි දියුණු කිරිමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමාගේ නායකත්වය යටතේ සිදු කිරිමට නව සභාපති කසුන් වෑකඩපල මහතාටත් සියළුම සේවකයින්ටත් ප්‍රවාහන අමාත්‍යාංශ යටතේ ලැබිය යුතු සියළුම සහය ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දී සිටින ආර්ථික පසුබෑම නිසා ආනයනය සදහා වැය වන විදේශීය විනිමය ඉතිරිකරගෙන දේශිය සම්පත් හා සේවාවන් යොදාගෙන ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය හා ශ්‍රි ලංකා දුම්රිය සේවය නගා සිටුවීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වය යටතේ නව රජය කටයුතු කරමින් සිටින බවත් 2021 ජනවාරි 01 වන විට අබලන් වී ඇති බස්රථ 200 කට වැඩි ප්‍රමාණයක් අළුත්වැඩියාකොට ධාවනයට ලක් කිරිමෙන් මගී ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරිමට බලාපොරොත්තු වන බවත් වැඩි දුරටත් පැවසීය.

එසේම මෙම ආයතනය තව දුරටත් වැඩි දියුණුකොට යුගයට ගැලපෙන නවීන බස්රථ එකලස් කිරිමේ කටයුත්ත දක්වා මෙහෙයුම් කටයුතු ප්‍රවර්ධනය කිරිමේ පරිවර්තනය මෙම ආයතනය තුල සිදු කිරිමට හැකි බව බවටත් අමාත්‍යවරයා විශ්වාසය පල කළේය.

මෙම අවස්ථාවට වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති කසුන් වෑකඩපල, ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරුන්ද, ලක්දිව ඉංජිනේරු සමාගමේ සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

3A5A3010

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දිනෙන් දින ඉහල යන මාර්ග තදබදයට සහ මගී ජනතාවගේ ගමන් පහසුකම් සපුරාලීම සඳහා ලබාදිය හැකි ලාභදායී, පරිසර හිතකාමී හා තිරසාර විසඳුම ලෙස දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය කල යුතු බවට වන රජයේ තීරණයට අනුව ප්‍රවාහන අමාත්‍යංශය හා ශ්‍රි ලංකා දුම්රිය සේවය එක්ව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රි ලංකා දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී තිබේ.

හයිලෙවල්, ලෝලෙවල් හා හොරණ මාර්ග පථයන් ඔස්සේ කොළඹ නගරයට පිවිසීමේදී වර්තමානයේ ඇති වී ඇති වාහන තදබදයට කාලීන හා තිරසාර විසඳුමක් ලබාදීම කඩිනම් කිරීම සඳහා කැළණිවැලි දුම්රිය මාර්ගය හැකි ඉක්මණින් සංවර්ධනය කලයුතුය යන රජයේ තීරණ අනුව කැළණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසෙහි ශක්‍යත අධ්‍යයනය සහ සවිස්තරාත්මක ඉංජිනේරුමය සැලසුම් මේවන විට සකස් කොට අවසන්ව ඇත.

විවිධ වූ සමාජයීය, ආර්ථික, පාරිසරික හා තාක්ෂණික කරුණු ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව තව දශක කිහිපයක මගී ඉල්ලුමට සරිලන ලෙස කාර්ය බහුල වේලාවන් වලදී විනාඩි 7කට පමණ වරක් විදුලි දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇත. මරදාන සිට මාලපල්ල දක්වා මෙම දුම්රිය මාර්ගය කණු මත දිවෙන ද්විත්ව විදුලි දුම්රිය මාර්ගයක් ලෙස ඉදි කිරීමට තීරණය කර ඇත.

මෙහිදී අනෙක් සුවිශේෂීම කරුණ වන්නේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතය තුල අනාරක්ෂිත ලෙස පදිංචි වී සිටින පුද්ගලයින් ජීවත් වීමට නුසුදුසු එම පරිසරයෙන් ඉවත් කොට වඩාත් ආරක්ෂිත සුවපහසු නිවාස තුළ නැවත පදිංචි කිරීම තුළින් ඔවුනට ඉහළ ජීවන මට්ටමක් ලගා කර ගැනීමට අවශ්යස ඉඩ ප්‍රස්ථාව වෙනුවෙන් නව නිවාසවල ස්ථිර හිමිකම ලබා දීමයි. තවද මෙම ක්‍රියාදාමය තුළින් යෝජිත සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය ඉඩකඩ විවර වනවා මෙන්ම කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතය තුල ඇති ඉතා ඉහල වාණිජ වටිනාකමක් ඇති භූමිය, වෙනත් තිරසාර සංවර්ධන කාර්යයන් සඳහා භාවිතා කිරීමේ ඉඩප්‍රස්ථාව ද හිමි වේ.

ඒ අනුව ඔවුන් නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය නිවාස 1244ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ලබා ගැනීම සඳහා දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම් ගතව ඇති අතර එහි පළමු නිවාස 384කින් යුත් මහල් නිවාස මාලිගාවත්ත ‘ලක්හිරු සෙවණ‘ නිවාස සංකීර්ණයෙන් දැනටමත් ව්‍යාපෘතිය වෙත ලබා දී ඇත.

මෙම නිවාස 384 පදිංචි කිරීම සඳහා එයට ආසන්නතම කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ ලොකෝ මංසන්ධියේ සිට සීවලීපුර පාසල් පටුමග දක්වා කොටසෙහි පදිංචි නිවාස ඒකක 261ක පදිංචිකරුවන් පිරිසක් තෝරා ගෙන ඇති අතර ඔවුන්ගේ 2වන කණ්ඩායම ලෙස නිවාස ඒකක 110ක පුද්ගලයින් සඳහා නව නිවාසවල යතුරු භාරදීම ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමාගේ හා වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 2020.09.29 වැනි දින සිදු විය.

මේ යටතේ දීර්ඝ කාලයක් කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසරයෙන් පදිංචි වී සිටි හරියාකාරව නිවසක් නොමැතිව සිටි ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සහිත, සුවපහසු පරිසරයක පිහිටි මහල් නිවාසයක ස්ථිර හිමිකම් ලැබේ. එමගින් එම ජනතාවට හා ඔවුන්ගේ දරු පවුල්වලට විශාල සහනයක් වූ බව එම ජනතාවගේ අදහසයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ පාලිත සමරසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (නිවාස)ඊ.ඒ.සී.ප්‍රියශාන්ත යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රවාහන අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් ද නව නිවාසලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වුහ

 

 

3A5A7455

ඉන්දුනිසියානු තානාපති ගුස්ති නුග්රා ආර්ඩියාසා (Gusti Ngurah Ardiyasa) මැතිතුමා හා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා අතර හමුවක් 2020-09-03 දින බත්තරමුල්ල, සෙත්සිරිපාය, ප්‍රවාහන අමාත්‍යංශයේදි පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවාව සතු ගුණාත්මකභාවය ඉහල නැංවීම සදහා ඉන්දුනීසියානු ආයෝජන ප්‍රවර්ධනය කිරිමේ හැකියාව පිළිබදව ඉන්දුනීසියානු රජයෙන් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍යවරයා හා තානාපතිතුමා අතර සාකච්ඡා පැවැත්වීය.

තවද ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා රජය සමත්වීම පිළිබදව ඉන්දුනීසියානු රජයේ ප්‍රශංසාවද ශ්‍රී ලංකා රජය වෙත තානාපතිතුමන් විසින් පළ කරන ලදී.

මෙම අවස්ථාවට වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් එස්.එම්.එල්.කේ. අල්විස් මහතා, ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ස්වර්ණා ද සිල්වා මහත්මිය, ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් රෂිඩ් මහුමුඩීන් මහතා ( Rasyid Mahmuddin) සහ දෙවන ලේකම් නූර් ෆිට්රියා (Nur Fitria) මහත්මියද සහභාගි විය.

 

3A5A6383

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira SUGIYAMA) මැතිතුමා හා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමන් අතර හමුවක් 2020.09.08 දින බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි ප්‍රවාහන අමාත්‍යාශයේදී සිදුවිය.

දශක 07කට වඩා පැරණි ශ්‍රි ලංකාව හා ජපානය අතර පවතින රාජ්ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආගමික, සමාජ, සංස්කෘතික හා ආර්ථික යන සියලු අංශවල මිත්‍රත්වය වර්ධනය කිරීම කෙරෙහි ජපාන රජයේ ඇප කැපවීම පිළිබඳව ජපාන තානාපතිතුමන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
පසුගිය රජය කාලයේ ජපාන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් හා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජපාන රජය දැනුවත් කිරීමට කටයුතු යොදන බව අමාත්‍යතුමන් විසින් පෙන්වා දෙන ලදී.

ශ්‍රි ලංකාවේ විවිධ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මගින් දක්වන උපකාර කෙරෙහි විශේෂ ස්තූතියද අමාත්‍යතුමන් විසින් ජපාන තානාපාතිතුමන් වෙත පල කරන ලදී.
ශ්‍රි ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ජපාන රජයෙන් සහය අපේක්ෂා කරන බවද පැවසූ අමාත්‍යවරයා, ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ජපාන රජයේ ඇප කැපවීම ප්‍රශංසාවට ලක් කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාශයේ ලේකම් මොන්ටි රණතුංග මැතිතුමා, නියෝජ්‍ය ජපාන තානාපති කිටමුරා ටොෂිහිරෝ (KITAMURA Toshihiro) මැතිතුමා, ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් කෙන්ත යසුනග (Kenta YASUNAGA) මැතිතුමා හා ජපාන තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා හා සංස්කෘතික කටයුතු පිළිබඳ තෙවන ලේකම් කවකාමි අෂුසා (KAWAKAMI Azusa) මෙනවිය යන මහත්ම මහත්මීන්ද සහභාගී වුහ.

 

 

3A5A7477

පිළියන්දල කැස්බෑව හා බොරලැස්ගමුව නගරවල සංවර්ධන සැලසුම්වල ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරිම හා ඒවා ක්‍රියාත්මක කිරිමේදි පැන නගින බාධක හා ගැටලු හදුනාගෙන ඒවාට විසදුම් ලබාදීම සදහා වන සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අදාල අංශ ප්‍රධානින් සමග ප්‍රවාහන අමාත්‍යංශයේදි 2020-09-03 දින පැවැත්විණ.

මෙහිදි මෙම සැලසුම් ක්‍රියාත්මක කිරිමේදි දැනට හදුනාගෙන ඇති බාධක පිළිබදව නිලධාරින් අමාත්‍යතුමා දැනුවත් කළ අතර වඩාත් කඩිනමින් එම සැලසුම් ක්‍රියාත්මක කොට එම ව්‍යාපෘතින් නිම කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යතුමන් විසින් අදාල ආයතනවල නිළධාරින් වෙත උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.එල්.කේ. අල්විස් මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යකෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී. පේමදාස මහතා,කැස්බෑව නගර සභාවේ නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතා, ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ස්වර්ණා ද සිල්වා මහත්මිය ඇතුළුව අදාල ආයතන ප්‍රධානින් රැසක් සහභාගී විය.

නවතම පුවත්