8

ලංගම ඩිජිටල්කරණයේ තවත් පියවරක් ඉදිරියට තබමින් "1958- ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය” ජනතා අයිතියට පත් කෙරේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ලංකා ගමනාගමන මණ්ඩලය පුර්ණ ඩිජිටල්කරණයට ලක්‌ කිරීමේ වැඩසටහන යටතේ, මගී ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීම හා සුහදශීලී මගී ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් ස්ථාපනය කරන ලද “ 1958- ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය” ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘතකරනලදි.

ලංකා ගමනාගමන මණ්ඩලය රාජ්‍ය ආයතනයක් ලෙස ආරම්භ කරන ලද වර්ෂය සිහිපත් කරමින් 1958 ලංගම ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය ස්ථාපනය කරන ලද මෙම තොරතුරු කේන්ද්‍රය මගින් 1958 ක්ෂණික දුරකථන අංකය හරහා දිවයිනේ ඕනෑම ස්ථානයක සිට මගීන්ට ලංකා ගමනාගමන මණ්ඩලයට සම්බන්ධ තොරතුරු,පැමිණිලි, යෝජනා වඩාත් පහසුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය මඟින් බස්රථ සම්බන්ධ පැමිණිලි, බස්රථ කාලසටහන් පිළිබඳ විස්තර, ඇතුළු පහසුකම් රැසක් මගී ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති අතර, දැනට GPS තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බස්රථ නිරීක්ෂණය ද මෙම මධ්‍යස්ථානය හරහා සිදුකෙරේ. ඉදිරියේදී මාර්ගගත ක්‍රමයට ලංගම බස් රථවල ආසන වෙන් කිරීමේ සේවාවද මෙම තොරතුරු කේන්ද්‍රය හා ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත. එසේම ලංගම තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් මාර්ග සිතියම එළි දැක්වීමද මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි.

මධ්‍යස්ථානය වෙත ලබා ගන්නා තොරතුරු කඩිනමින් අදාළ අංශ වෙත යොමු කිරීම සහ ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම සිදුකරන අතර, මගින් විසින් සිදුකරනු ලබන පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව පැමිණිලි කරන ලද මගීන් වෙත නැවත දැනුම් දීම ද ලංගම තොරතුරු කේන්ද්‍රය හරහා සිදුකෙරේ.

මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" පොදුජන සුබ සෙත උදෙසා ආරම්භ කරන ලංකා ගමනාගමන මණ්ඩලය තවත් නව පියවරක් ඉදිරියට තබමින් ජනතාවට පොදු ප්‍රවාහනයේදි මතුවන ගැටලු පිළිබඳ තොරතුරු දැන ගැනීමසහ දැන්වීම උදෙසා පැය 24 පුරා ක්‍රියාත්මක වන නවීන තාක්ෂණයෙන් යුතු මෙවැනි ඒකකයක් පිහිටුවීම ඉතාමත් වැදගත්. වර්තමානය වන විට රට මෙන්ම බොහෝ රාජ්‍ය ආයතනද ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. වැටුප් ගෙවා ගැනීමට හෝ නොහැකි තත්ත්වයකපැවති ඩිපෝ ප්‍රමාණය වර්තමාන කළමණාකාරිත්වය යටතේ නවයක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. අනිකුත් සියලු ඩිපෝ ලබන ආදායමෙන් වැටුප් ගෙවා ගත හැකි මට්ටමේ ආදායමක්‌ උපදවමින් තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ ඉටු කර ගැනීමට උත්සාහ කළ අරමුණක් ඉටුකර ගනිමින්, බොහෝ අවස්ථාවල චෝදනාවන්ට ලක් වූ 1958 සිට ක්‍රියාත්මක වූ ප්‍රවේශපත්ක්‍රමය වෙනුවට නව ඩිජිටල් ප්‍රවේශපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. එලෙස ඩිජිටල්කරණය ක්‍රියාත්මක වීමත් සමඟ ලංගම ආදායම 50%කින් ඉහළ නැංවිය හැකි බව මා විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් තාක්ෂණික කරුණු ද සම්පූර්ණ කර ගනිමින් මේ වසර නිමවීමට පෙර ලංගම කොටසක් හෝ e ticketing ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට අප උත්සාහ කරනවා.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී පැවති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් අවසන් වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් පැවති වැටුප් විෂමතා ගැටලු ඉදිරියේ දී කැබිනට් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි මාසය තුළ සම්පූර්ණයෙන්ම විසඳා අවසන් කළ හැකි වනු ඇති.

එසේම ලංගම පසුගිය කාලය තුළ මිලදී ගැනීම් ක්‍රියාවලිය තුළ මිලියන 85ක පමණ මුදල් ප්‍රමාණයක්‌ ඉතිරි කර තිබෙනවා.එහි ප්‍රතිලාභ සේවකයින්ට ලැබිය යුතුයි.ඒ අනුව සියලුම ලංගම සේවකයින්ගේ සුරක්ෂිතතාවය තහවුරු වන පරිදිජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට අප කටයුතු කරනවා. "

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා,ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක මහතා,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

7

සියලු දෙනා එකතුවෙලා වැඩ කළොත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසරක් ඇතුලත ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකියි.

පසුගිය කාලය තුළ සොයා බැලුවා මෙම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි ද කියා සියලු දෙනා එකතුවෙලා වැඩ කළොත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසරක් ඇතුලත ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. මෙම හමුව පසුගියදා මහාමාර්ගඅමාත්‍යාංශයේ දී පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

දේශපාලඥයෙක් නොවන අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙක්, ඉංජිනේරුවෙක් මම සභාපති ලෙස පත් කළා. ඔහු පත්වන විට පඩි ගෙවන්න බැරිඩිපෝ 37ක් තිබුණා. දැන් පඩි ගෙවන්න බැරි ඩිපෝ සංඛ්‍යාව 9 දක්වා අඩුවෙලා තියෙනවා.ගමනාගමන මණ්ඩලයේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි දෛනිකව මගීන්ගෙන් ලැබෙන මුළු ආදායමම ආයතනයට නොලැබීම. රියැදුරු මහත්තුරුයි කොන්දොස්තර මහත්තුරුයි ආදායමින් කොටසක් සීටීබී එකට බැඳ ඉතිරි කොටස ගෙදර ගෙනියනවා. සංවිධානාත්මක මෙම මුදල් එකතු කිරීම සිදු කරගෙන යනවා. ගමනාගමන මණ්ඩලයට ලැබිය යුතු පියල් ලක්ෂ 100 ක පමණ ආදායමක් දවසකට මේ නිසා අහිමි වෙනවා. එයට විසඳුමක් ලෙස ඊ - ටිකටින් ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරගෙන යනවා. ඉලෙක්ට්‍රොනික් ටිකට් ක්‍රමය ආපුවාම ගමනාගමන මණ්ඩලයේ සෑම ඩිපෝවක්ම ලාභ ලබන තත්ත්වයට පත්වෙනවා. අලුතින් කැඳවන ලද ටයර් ටෙන්ඩරය නිසා ටයර් එකකින් රුපියල් 9000ක ඉතිරියක් ආයතනයට ලැබෙනවා. එමගින් මාස හතරක් ඇතුළත රුපියල් මිලියන 85ක් ඉතිරි කරගන්න අපිට හැකිවුනා.

අපි හිතන විදියට අවුරුද්දකට රුපියල් මිලියන 7000ක් පමණ ලාභයක් ගමනාගමන මණ්ඩලයට ඉපයිය හැකියි. එයින් කොටසක් සේවකයින්ටද බෙදා දිය හැකි අතර සියලු දෙනා සඳහා හොඳ රක්ෂණ ක්‍රමයක් ද හඳුන්වා දිය හැකියි. ගමනා ගමන මණ්ඩලය තුළ ඉතා අසීරුවෙන් රාජකාරි කරන හොඳ සේවක පිරිසක් ඉන්නවා.

පසුගිය කාලයේ 8% කින් ආදායම වැඩි වැඩිවෙලා තිබෙනවා. ඒ වාගේම වියදම දඩු වෙලා තියෙනවා. බස්රථ අටසියයක් පමණ අලුත් සභාපතිතුමා පත්වෙනකොට ධාවනයෙන් ඉවත් කරලා තිබුණා. ඉන් හාරසියක් හදන්න සල්ලි දුන්නා. මේ වන විට බස්රථ 175ක් පමණ හදලා ඉවරයි ඉතිරිටිකත් ඔක්තෝබර් 31 වැනිදා වන විට සාදා අවසන් කිරීමට කටයුතු කරනවා. ඉන්දීය ණය ආධාර යටතේ බස්රථ පන්සියයක් අලුතෙන් ගත්තා. ලාභ ලබන ඩිපෝ සඳහා දුර ගමන් සඳහා බස්රථ දාහක් අලුතින් ගන්න කටයුතු කර ගෙන යනවා.

2030 වන විට පොදු ප්‍රවාහනය පොසිල ඉන්ධන වලින් බැහැරව ඉලෙක්ට්‍රික් වෙන්න ඕන කියලා ලෝකයේ රටවල් එකඟවෙලා තියෙනවා. ගමනාගමන මණ්ඩලය සතු බස්රථ 6000 අනාගතයේ දවසක ඉලෙක්ට්‍රික් බස්රථ වෙන්න ඕන එහෙම නැතිව පවතින්න බැහැ.

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනය සඳහා ඉලෙක්ට්‍රික් බස් රථ 200ක් ගෙන ඒමට අපි ආයෝජකයින්ට අවස්ථාවදීලා තියෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

5

කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹීමෙන් ගමන තවත් පැය භාගයකින් අඩුවනවා

මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන්යෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් සිදුකෙරෙන මෙම පුනරුත්ථාපනව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත. මාර්ගයේ පවතින දුර්වල තත්වය හේතුවෙන් දැනට පවතින වේග සීමා 49 වසරක් තුළ ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුමයි.

කිලෝමීටර් 59 ක දිගින් යුතු මරදාන සිට අවිස්සාවේල්ල දක්වා වන කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම සඳහා රේල් පීලි 2359 සහ කොන්ක්‍රීට් සිල්පර 25728ක්‌ යොදා ගැනීමට නියමිත වේ. ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් කෝටි 127කි.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ආරම්භ වූ කැලණි වැලි දුම්රිය මාර්ගය අද්‍යතනයුගයට ගැලපෙන අයුරින්, ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීම උදෙසා විදුලි දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය විය යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රමානුකූල නිශ්චිත වැඩපිලිවෙලක් යටතේ දුම්රිය මාර්ගය නවීකරණය ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ සිදු කිරීමට සැලසුම් සකස් කර තිබුණා.නමුත් පළාතේ අවාසනාවකට හිටපු ජනාධිපතිවරයාගේ කාලය තුළ එම ව්‍යාපෘතියේ ඵලදායිතාව පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා. ඒ අනුව මෙය ඵලදායි නොවන ව්‍යාපෘතියක් ලෙස මෙම කමිටුව නිර්දේශයක් ලබා දුන්නා. එම නිසා ලැබීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකු ණය මුදල අත් හිටවනු ලැබුවා. එම රජයේ අමාත්‍යවරුන් ලෙස මමත් වත්මන් අග්‍රාමාත්‍යතුමාත් නැවත එම ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා විශාල මැදිහත්වීමක් සිදුකලා. අයවැය යෝජනාවක් ලෙස ඇතුලත් කලා. නමුත්දේශපාලනඥයින්ට වඩා ඉහලින් සිටින නිලධාරීන්ගේ තීරණ වල අවාසනාවන්ත ප්‍රතිපලයක් ලෙස ඒ වටිනා ව්‍යාපෘතිය අහිමිව ගියා. මා විෂය භාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත හැකි සෑම උත්සාහයක්ම දරුවත් එය සාර්ථක වූයේ නැහැ.දැනට රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු නැවත ණය මුදලක් ලබා ගැනීම අපහසුයි.

ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර සංවිධාන කටයුතු කරන්නේ සියලු රටවල් පිලිබඳ පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. ශ්‍රී ලංකාවේ සෑම රජයකටම පැවති පොදු ගැටළුවඅද දක්වාත් නොවිසඳී පවතිනවා. රජයට ලැබෙන බදු අදායමින් සිදු කල හැකි වන්නේ කටයුතු දෙකයි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා එයින් 72%ක්‌ වැය වනවා. සමෘද්ධි ඇතුලු සහනාධාර ගෙවීම සඳහා 28%ක්‌ වැය වනවා. එවිට භාණ්ඩාගාරයේ ශතයක් හෝ ඉතිරි වන්නේ නැහැ.

ඒ අනුව පැවතුනු සෑම රජයක්ම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදුකර තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්. නමුත් ඒ පිලිබඳ සත්‍ය ජනතාවට පැහැදිලි කර දී නැහැ. මේ තත්වය යටතේ තව දුරටත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදුකර, වැටුප් වැඩි කිරීම සිදු කළහොත් මුළු බදු අදායමම වැටුප් ගෙවීමට වෙන් කිරීමට සිදු වනවා.

මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ සිදු කරන සාකච්ඡා ඔක්තෝම්බර් මාසය වන විට සාර්ථක කරගනිමින් ලෝකය සමඟ එකඟතාවයකට එළඹෙන්නට හැකි වනු ඇති.

ඉන් අනතුරුව නතර වී ඇති සියලු සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව ලැබෙන ඇති බව මා විශ්වාස කරනවා.

එතෙක් පවතින සම්පත් පරිස්සමෙන් යුතුව කළමනාකරණය කර ගනිමින් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීමට අප පියවර ගෙන තිබෙනවා.ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ දී ඉවත් කරනු ලබන භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් කැළණි මිටියාවතේ මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය අද ආරම්භ කරනවා මෙන්ම, අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

වසර හතරකට පසු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ලැබුණු රේල් පීලි දස දහසක් රැගත් නෞකාවක ගොඩබෑම් පසුගියදා අවසන් වුණා.

එම සම්පත් ද යොදා ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කාර්යය අවසන් කිරීමෙන් අනතුරුව අවිස්සාවේල්ල සිට කොළඹට ගමන් කිරීමට ගතවන කාලය තවත් පැය භාගයකින් අඩු වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ සමඟම සංඥා පද්ධතියේද වෙනසක් සිදු කරනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා,හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක මහතා,දුම්රිය සාමාන්‍යධිකාරී ඩබ්. ඒ. ඩී. එස්.ගුණසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (යටිතල පහසුකම්) එච්. එම්. ඩබ්.බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

6

මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටල තොගයක් ශ්‍රී ලංකා පොලීසියට

මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටලයක් භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන ලදි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින්ඒ සඳහා වූ විශේෂිත පරීක්ෂණ කට්ටල පන්දහසක් (5000) මාර්ග ආරක්ෂාව පිළිබඳජාතික සභාවේ ප්‍රතිපාදන යටතේ මෙරටට ගෙන්වා ඇත. එම පරීක්ෂණ කට්ටල අතරින් තුන් දහසක් (3000) යොදා ගනිමින් බස්නාහිර පලාත තුල ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශය මගින් මැයි මස 10 වැනිදා සිට ජුලි මස 20 වනදා දක්වානියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදි. එමගින් හදුනා ගන්නා ලද රියදුරන් රැසකට රියදුරු බලපත්‍ර අත්හිටූවීම් දඩ නියම කිරීම සහ සිර දඬුවම් ලබාදීම සිදුකර ඇති අතර අයිස්, හෙරොයින්, ගංජා, මත් පෙති, ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 06ක්‍ හඳුනා ගැනීමේ හැකියාව මෙම පරීක්ෂණ කට්ටල සතුවේ.

නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මෙරටට ගෙන්වන ලද ඉතිරි පරීක්ෂණ කට්ටල 1975ක්‍ ශ්‍රී ලංකා පොලීසිය වෙත නිල වශයෙන් භාර දීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මෙරට මාර්ග සහ පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවගේ ජීවිත සහ දේපල ආරක්ෂාව පිළිබඳව විශාල වගකීමක් ශ්‍රී ලංකාව පොලීසිය ඇතුළු වගකිවයුතු ආයතන වෙත පැවරෙනවා.

මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම තුළින් පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන් විශාල පිරිසකගේ සහ සමාන්‍ය ජනතාවගේ ජීවිත විශාල අවදානමකට ලක්වනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට සාම්ප්‍රදායික නොවන මත්ද්‍රව්‍ය පවා භාවිතා කිරීමට ඇතැම් රියැදුරන් පෙළඹීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක්. ඒ තුළින් අනෙකුත් සෑම අනතුරකටම වඩා බරපතල ඛේදවාචක ඇතිවීමේ හැකියාවක් සහ අවදානමක් පවතිනවා.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ විශේෂිත පරීක්ෂණ කට්ටල භාවිතයට යොදා ගැනීම පිළිබඳව ඒ වෙනුවෙන් කැප වූ සියලු අංශවලට මගේ ස්තුතිය පිරිනමනවා. පවතින ආර්ථික දුෂ්කරතා මත ඉදිරියේ දී අමාත්‍යාංශය වෙතමෙවැනි කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ අපහසුතාවයක් පවතිනවා. එබැවින් රථවාහන දඩ මුදල්වලින් ශ්‍රී ලංකා පොලීසියටවෙන්වන මුදලින් කොටසක් මෙවැනි උපකරණ ලබා ගැනීම සඳහා වෙන් කරනු ඇති බව මා බලාපොරොත්තු වනවා."

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මිය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා, රථ වාහන, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඇතුළු ආයතන වල නිලධාරින් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

3

" වසර තුනකට පසු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ රේල් පීලි නැවක් ශ්‍රී ලංකාවට. "

දුම්රිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ගෙන්වන ලද රේල් පීලි තොගයක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ සමගි බහාලුම් පර්යන්ත පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මේ යටතේ වර්ග දෙකකට අයත් රේල්පීලි 10000ක්‌ චීනයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන දෙකකට අධික වේ. (රු.2,144,825,600.00)

වසර තුනකට පසුව මෙරටට ලැබුණු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ ගෙන්වන ලද මෙම රේල් පීලි තොගය භාර දීමේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (යටිතල පහසුකම්) එච්. එම්. ඩබ්.බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්