IMG 20240323 WA0003

දිනපතා කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය 12,000 ක පමණ මගීන් ප්‍රමාණයකට සේවාව සපයයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, ස්ථාපිත කිරීමේ මුලික අරමුණු සාක්ෂාත් කිරීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කරමින් මගීන්ට වඩාත් වේගවත්, සුවපහසු සහ විශ්වසනීය සේවාවන් ක්‍රියාත්මක කරමින් පවතී. එහිදී ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරනු ලබන අතර මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී බස් හා දුම්රිය සේවා එකම ස්ථානයකින් ගමන් කිරීම සිදු වේ.

මගීන්ට තම අවසන් ගමනාන්තයට ලඟා වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් කුලී ත්‍රීරෝද රථ සේවාව, පොදු ප්‍රවාහනය හා ඒකාබද්ධ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු විය. එම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානාත් රුබසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී විය. එදින Taxi සේවාව ඩිජිටල්කරණය පාදක කරගනිමින් ප්‍රාදේශීය ත්‍රීරෝද රථ සංගමය සමග Pick me Taxi රථ සේවාව අත්වැල් බැද ගන්නා ලදි.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන), තුෂාර සුරවීර මහතා, මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, නාලක දිසානායක මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ශෂී වෙල්ගම මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට සහභාගීවූ ආරාධිතයෝ කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය වෙත පැමිණෙන මගීන්ට සේවය කිරීම සඳහා බහුවිධ මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ නව කුලී රථ සේවාවේ ප්‍රතිලාභ පිළිබඳ ප්‍රසාදය පල කරන ලදි.

මෙහි දෙවන අදියර ලෙස Uber Taxi රථ සේවාවද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ත්‍රීරෝද රථ සමග ඒකාබද්ධ වීම 03 මස 19 වන දින සිදු විය. එම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ගරු ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානාත් රුබසිංහ මැතිතුමා , ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) නියෝජනය කරමින් නාමල් රළපනාව මැතිණිය ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී විය.

මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රුබසිංහ මහතා විසින් Pickme , Uber ආයතන වලට මෙන්ම ප්‍රාදේශීය ත්‍රීරෝද රථ සංගමයේ ත්‍රීරෝද රථ රියදුරු මහත්වරුන්ට විශේෂ ස්තූතිය පිරිනැමීය. ලංකාවේ පොදු ප්‍රවාහන සේවය හා සෘජුවම ත්‍රීරෝද රථ සේවාව ඒකාබද්ධ කිරීම ප්‍රථම වතාවට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කිරීම සම්බන්ධවද ගරු ලේකම්තුමා අදහස් දැක්වීය.

තවද, හරිත ප්‍රවාහනය (Green Trasport) යන සංකල්පය පාදක කරගනිමින් ඉන්ධන දහනය අවම කර පරිසර දූෂණයද වැළැක්වීම පිළිබඳව කරුණු ඉදිරිපත් කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා ඉක්මනින් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අනියුක්ත ත්‍රීරෝද රථ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය සිදුකරන බවටද වැඩිදුර අදහස් දැක්වීමේදී ලේකම්තුමා පැවසීය. එමෙන්ම හරිත ප්‍රවාහන සංකල්පය පාදක කරගනිමින් ඉලෙක්ට්‍රික් බස් රථ මෙරටට ගෙන්වීමද නුදුරේදීම සිදුවන බව එතුමා ප්‍රකාශ කරන ලදි.

එමෙන් ම Connectivity Transport යන සංකල්පය පිළිබඳවද කරුණු පැහැදිලි කළ අතර ඊට අනුව මගීන්ට තමන්ගේ අවශ්‍යය ගමනාන්තයට විවිධ මාධ්‍ය භාවිතා කරමින් ගමන් කිරීමට එක් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාවලියද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ලේකම්තුමා වැඩිදුරටත් පැහැදිලි කරන ලදි.
මෙහි දී ත්‍රීරෝද රථ සහ මෝටර් කුලී රථ වෙන්කරවා ගැනීමට අමතරව, අඩු වියදම් සහ පරිසර හිතකාමී විකල්පයක් වන විදුලි බයිසිකල් වෙන්කරවාගත හැකි අතර විශේෂයෙන් ත්‍රි රෝද රථ සඳහා නැවත විදුලියෙන් ආරෝපණය කල හැකි බැටරියක් සහ ත්‍රි රෝද රථ හඳුන්වාදීමද මෙහි දී සිදු විණි.

IMG 20240409 WA0017

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න....රජය ජනතාවගෙන් ඉල්ලයි

* 2024 වසරේදී අධිවේගී මාර්ගවල මාරක අනතුරු ඉහළට
* මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව දැනුම් දීමට 1955 ක්ෂණික ඇමතුම් අංකය පැය 24ම ක්‍රියාත්මකයි
* අධිවේගී මාර්ගයේ අනතුරු වළක්වාලීම සඳහා විඩාබර රියදුරන්ට විවේක ගැනීමට ස්ථානයක්

 එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි රජය අවධාරණය කරයි.

එබැවින් එළඹෙන උත්සව සමයේදී මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සිදු කිරිමටද මේ වන විට පියවර ගෙන ඇත.

මේ අතර උත්සව සමයේ සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව 2024-04-09 ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග මහතා පෙන්වා දුන්නේ මුහුණට මුහුණ සිදුවන අනතුරු, ත්‍රී රෝද රථ අනතුරු හා යතුරුපැදි අනතුරුවලින් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් බරපතළ අනතුරුවලට ලක් වී ඇති පුද්ගලයින් 100%ක් මෙතෙක් සුව ලබා නොමැති බවත්ය.

ශ්‍රී ලංකාව තුළ සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ අධිවේගී මාර්ගවලින් පිටත බව පෙන්වා දුන් ඒ මහතා එම අනතුරුවලින් දිනකට දහ දෙනෙකු පමණ මිය යන බවද සඳහන් කළ අතර එබැවින් මාර්ග අනතුරු අවම කිරීමට අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කර සිටියේ, උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි.
එසේම මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකයක් මේ වන විට පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කර තිබෙන බවත් ඊට ලැබෙන පැමිණිලි සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිලධාරීන් සූදානම් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහතා

උත්සව සමයේදි අධිවේගී මාර්ගය භාවිතා කරන වාහන ප්‍රමාණය ලක්ෂ 2 පමණ වේ යැයි ගණන් බලා තිබෙනවා. එහිදී සියලුම අධිවේගී මාර්ගවල මුදල් අයකැමි දොරටු විවෘත කර තැබීමට කටයුතු කරනවා. අධිවේගී මාර්ගවල සිටින මුදල් අයකැමිවරුන්ට පහසුවීම සඳහා මාරු මුදල් රැගෙන එන ලෙස ඉල්ලා සිටිනවා. එමඟින් වාහන තදබදය අවම කර ගත හැකියි.
අධිවේගී මාර්ගයේ අනතුරු වළක්වාලීම සඳහා විඩාබර රියදුරන්ට විවේක ගැනීමට ස්ථානයක් සිංහල අලුත් අවුරුද්දට පෙර විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. උත්සව සමයේ අධිවේගී මාර්ගය තුළ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සියලු රියදුරන් විනය ගරුකව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියා උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි මහතා

අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරුවලින් 56% ක් සිදුවන්නේ රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය නිසයි.
එම අනතුරුවලින් 35%ක් මරණය හෝ පූර්ණ කාලීන ශරීරාබාධ බව කිව යුතුයි. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර වසර දහතුන තුළ මාර්ග අනතුරු 9,375ක් සිදුව තිබෙනවා. ඒ අතරින් රියදුරන්ගේ නොසැලකිලිමත්භාවයෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව 5292ක් වන අතර එහිදී 66 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති අතර පූර්ණ කාලීන ශරීරාබාධ වූවන් ගණන 637ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තවද සමීක්ෂණ වාර්තා නිරීක්ෂණ අනුව අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සිදුවීමට බලපාන ප්‍රධාන හේතු තුනක් හඳුනාගෙන තිබෙනවා. ඒ, රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය, රථ වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම හා තුන්වන පාර්ශවයක් නිසා සිදුවන අනතුරු ලෙසයි.

දක්ෂිණ අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා මහතා

2024 වර්ෂයේ මේ වන විට අධිවේගී මාර්ගවල මාරක අනතුරු 07ක් සිදුව තිබෙනවා. එය පසුගිය වසර දෙකට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරන බව කිව යුතුයි. 2022 වසරෙදි අධිවේගී මාර්ගවල මාරක රිය අනතුරු 17ක් සහ 2023 වසරේදි මාරක රිය අනතුරු 04ක් සිදුව තිබෙනවා. එම නිසා උත්සව සමයේදී විනය ගරුක රියදුරෙක් ලෙස අනතුරු අවම කර ගැනීමට දායක වෙන ලෙස ඉල්ලා සිටිනවා.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර මහතා

නව තාක්ෂණික සන්නිවේදන මෙවලම් භාවිතය නිසා රියදුරන්ගේ අවධානය බිඳී යාමෙන් සිදුවන අනතුරු වැලැක්වීම සඳහා අවශ්‍ය නීති රීති මේ වන විට මෝටර් රථ ආඥා පනතේ නැහැ. එම නිසා නව තත්ත්වයන්ට ගැලපෙන නීති රීති යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රියදුරු පුහුණු කිරීමේ සිට රියදුරු බලපත්‍රය ප්‍රමිතියකට ලක් කිරීමටද බලාපොරොත්තු වෙනවා. එමගින් ආකල්පමය වෙනසක් ඇති විනයගරුක රියදුරන් බිහිකිරීමට හැකි වන බව විශ්වාස කරනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) ජේ. අයි. ඩී ජයසුන්දර , මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති එම්.කේ.ආර්.ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

"උපුටා ගැනීම - ජනාධිපති මාධ්‍ය අංශය"

 

Slave island railway Lankapradeepa

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතිය හරහා කොම්පඤ්ඤවීදිය කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රධාන දුම්රිය ස්ථාන හය සංවර්ධනය කිරීම තුළින් නාගරික ප්‍රදේශයන් වෙත නව මුහුණුවරක් ලබාදීමේ පෙර නොවූ අවස්ථාවක් සඳහා එක්වන වන ලෙස දුර දක්නා දැක්මකින් යුතු ආයෝජකයින් හට ප්‍රවාහන අමාත්‍යංශය ඇරයුම් කරයි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම දුම්රිය ස්ථානයක් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියෙන් යුත් යෝජනා ඉදිරිපත් කිරීමට ආයෝජකයින් හට අවස්ථාව ලබා දී ඇත.

වඩා හොඳ ආයෝජන සැලැස්මක් ඉදිරිපත් කිරිම සඳහා, ඉහත සඳහන් ප්‍රධාන දුම්රිය ස්ථාන හයේ මිනින්දෝරු සැලැස්ම ද බාගත කරගැනීමට පිළිවන.

තවද,වෙනත් දුම්රිය ස්ථානයක් සඳහා යෝජනා සැලැස්මක් ලබා දෙන්නේ නම් එම දුම්රිය ස්ථානයේ මිනින්දෝරු සැලැස්ම ඉල්ලුම් කර ලබාගත යුතුය.

දිනකට මගීන් 10,000 ක් ඉහත එක් එක් දුම්රිය ස්ථානයන් හරහා ගමන් පහසුව සළසා ගන්නා අතර ඒ හරහා දිනකට දුම්රිය 100ක් ධාවනය වේ.
ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු.

  • බිම් මහල සහ පළමු මහල දුම්රිය ධාවනය සහ මගී කටයුතු සඳහා වෙන් කළ යුතුය.
  • සවිස්තරාත්මක සැලැස්ම ඉදිරිපත් කළ යුතුය.

 

    වැඩි විස්තර සඳහා අමතන්න

    විමුක්ති- +94 77 564 7201
    අසංක -  +94 70 358 6918
    නයෝමි - +94 71 820 4965

     

    WhatsApp Image 2024 04 05 at 13.27.02

    කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ශත වර්ෂ පූර්ණය සමරණුවස්, " දුන්හිඳ ඔඩිසි"  නව දුම්රිය 2024-04-05  පෙරවරුවේ  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා සිය මංගල ගමන ආරම්භ කරන ලදී.

    කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයට වසර 100 ක් සපිරෙන සැමරුම් උළෙල අද බදුල්ලේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විනි. කොටුවෙන් ගමන් ඇරඹි නව දුන්හිඳ ඔඩිසි දුම්රියේ, අරාධිත අමුත්තන් සහ මාධ්‍යවේදීන් ද සමගින් බදුල්ල බලා ධාවනය විය. මෙම මංගල ගමනට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාද දුංහිද ඔඩිසියෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පැමිණි අතර පසුව වයිස්රෝයි දුම්රියෙන් බදුල්ල දක්වා ගමන් ගන්නා ලදී.

    මෙම ශතවර්ෂ පූර්ණය වෙනුවෙන් දුන්හිඳ ඔඩිසි දුම්රියට අමතරව නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා තවත් සුඛෝපභෝගී දුම්රියක්වන වයිස්රෝයි (Viceroy)  දුම්රිය ද විශේෂ ආරාධිත අමුත්තන් බදුල්ල වෙත රැගෙන බදුල්ලට ලගා වූ අතර වට ආවරණයන්ගෙන් තොරවූ "කැලිප්සෝ" නම් විශේෂ නැරඹුම් පහසුකම් සහිත දුම්රියත්  සියවස් සැමරුමට එක්විය. මෙම කැලිප්සෝ දුම්රිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා සේවයට කැප කිරීම ද මෙහිදී සිදු වූ විශේෂිත කර්තව්‍යයකි.

    මෙම කැලිප්සෝ දුම්රිය, ස්වභාව සෞන්දර්‍යය නැරඹීම වෙනුවෙන්ම සකස් කොට ඇති අතර ආහාරපාන මෙන්ම සංගීතය වැනි විනෝදාස්වාදන අංගයන්ගෙන්ද සමන්විතවේ.  මෙහි විශේෂත්වය වන්නේ,  නානුඔය සිට බදුල්ල දක්වා වූ අතිශය සුන්දර ස්ථාන ග්‍රහණය කරගන්නා ස්වභාව සෞන්දර්‍යය චාරිකාවක් වීමයි.  මෙම බදුල්ල කොළඹ දුම්රිය මාර්ගය, දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂී අවධානයට යොමුවන්නකි. විදෙස් සංචාරක ආකර්ශනය හේතුවෙන්, ශ්‍රී ලංකා ආර්ථිකයට මෙන්ම විදේශ විනිමය වෙනුවෙන්ද මෙමගින් ලැබෙන ප්‍රථිලාභය අතිවිශාල වේ.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සියවස් පූර්ණ සැමරුම සඳහා රේඛීය සංචාරක අමාත්‍යාංශය මෙන්මඌව පළාත් සංචාරක අමාත්‍යාංශයද සිය දායකත්වය  ලබාදී තිබේ.

    කොළඹ - බදුල්ල දුම්රිය මගෙහි සියවස් සැමරුම සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් රු. 25/- ක   වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක්ද නිකුත් කිරීම ද මෙහිදී සිදු වූ තවත් විශේෂිත කටයුත්තකි.

    අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැති මෙම කොළඹ - බදුල්ල දුම්රිය සියවස් සැමරුම වෙනුවෙන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, ඌව පලාත් දේශපාලනාධිකරියද සහභාගී වූහ.  

    image 0b0e8544baශ්‍රී ලංකාව තුල පරිහරණය කළහැකි මෙරට රියදුරු බලපත් අවශ්‍ය විදේශිකයන් හට,ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේදීම ඉතා කඩිනමින් එම අවශ්‍යතාව ඉටුකරදීමට නව ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

    අ‍ප්‍රේල් 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව ක්‍රමවේදය තුළින්, ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා දීමට සැලසුම් කර තිබේ. මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක අමාත්‍යාංශය හා එක්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි. 

    විදේශිකයන් විසින් සිය අවශ්‍යතාව මත මෙරට රියදුරු බලපත් අයදුම් කිරීමේදී ඒ සඳහා විශේෂිත වූ අයකිරීම් ක්‍රමවේදයක්ද සකසා තිබේ. මෙම ගාස්තු අය කිරීම බලපත්‍රය වලංගුවන කාලසීමාව මත පදනම්ව සලසා තිබේ. ඒ අනුව, මාසයක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය  ලබා ගැනීමට නම් ඩොලර් 25ක්ද, මාස තුනක් සඳහා ඩොලර් 50ක්ද, මාස හයක් සඳහා ඩොලර් 75ක්ද, අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ඩොලර් 200ක්ද වශයෙන් අය කිරීමට සැලසුම් කර තිබේ.

    විදේශීකයන්හට මෙරට රියදුරු බලපත් ලබාගැනීමේදී මෙතෙක් කලක් අනුගමනය කළ වේරහැර කාර්යාලයට ගොස් එම බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට මෙම නව ක්‍රමවේදය හදුන්වා දීම තුළින් වඩාත් පහසු, ඉක්මන් මෙන්ම විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබාගත හැකි වෙතැයි බලාපොරොත්තු වේ. එමෙන්ම මෙම ක්‍රමවේදය විදේශිකයන් අතර ප්‍රචලිතවීම තුළින් ඔවුන් මෙරට රියදුරු බලපත් ලබාගැනීම සඳහා වැඩි වශයෙන් නැඹුරු වෙතැයි අපේක්ෂා කරන අතර එමඟින් සංචාරක කර්මාන්තය වැඩිදියුණුවට වන ආකර්ෂණය අනුව රටේ ආර්ථිකයට ද වඩාත් ශුභදායි  දායකත්වයක් ඇතිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

    නවතම පුවත්