WhatsApp Image 2024 04 05 at 13.27.02

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ශත වර්ෂ පූර්ණය සමරණුවස්, " දුන්හිඳ ඔඩිසි"  නව දුම්රිය 2024-04-05  පෙරවරුවේ  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා සිය මංගල ගමන ආරම්භ කරන ලදී.

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයට වසර 100 ක් සපිරෙන සැමරුම් උළෙල අද බදුල්ලේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විනි. කොටුවෙන් ගමන් ඇරඹි නව දුන්හිඳ ඔඩිසි දුම්රියේ, අරාධිත අමුත්තන් සහ මාධ්‍යවේදීන් ද සමගින් බදුල්ල බලා ධාවනය විය. මෙම මංගල ගමනට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාද දුංහිද ඔඩිසියෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පැමිණි අතර පසුව වයිස්රෝයි දුම්රියෙන් බදුල්ල දක්වා ගමන් ගන්නා ලදී.

මෙම ශතවර්ෂ පූර්ණය වෙනුවෙන් දුන්හිඳ ඔඩිසි දුම්රියට අමතරව නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා තවත් සුඛෝපභෝගී දුම්රියක්වන වයිස්රෝයි (Viceroy)  දුම්රිය ද විශේෂ ආරාධිත අමුත්තන් බදුල්ල වෙත රැගෙන බදුල්ලට ලගා වූ අතර වට ආවරණයන්ගෙන් තොරවූ "කැලිප්සෝ" නම් විශේෂ නැරඹුම් පහසුකම් සහිත දුම්රියත්  සියවස් සැමරුමට එක්විය. මෙම කැලිප්සෝ දුම්රිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා සේවයට කැප කිරීම ද මෙහිදී සිදු වූ විශේෂිත කර්තව්‍යයකි.

මෙම කැලිප්සෝ දුම්රිය, ස්වභාව සෞන්දර්‍යය නැරඹීම වෙනුවෙන්ම සකස් කොට ඇති අතර ආහාරපාන මෙන්ම සංගීතය වැනි විනෝදාස්වාදන අංගයන්ගෙන්ද සමන්විතවේ.  මෙහි විශේෂත්වය වන්නේ,  නානුඔය සිට බදුල්ල දක්වා වූ අතිශය සුන්දර ස්ථාන ග්‍රහණය කරගන්නා ස්වභාව සෞන්දර්‍යය චාරිකාවක් වීමයි.  මෙම බදුල්ල කොළඹ දුම්රිය මාර්ගය, දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂී අවධානයට යොමුවන්නකි. විදෙස් සංචාරක ආකර්ශනය හේතුවෙන්, ශ්‍රී ලංකා ආර්ථිකයට මෙන්ම විදේශ විනිමය වෙනුවෙන්ද මෙමගින් ලැබෙන ප්‍රථිලාභය අතිවිශාල වේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සියවස් පූර්ණ සැමරුම සඳහා රේඛීය සංචාරක අමාත්‍යාංශය මෙන්මඌව පළාත් සංචාරක අමාත්‍යාංශයද සිය දායකත්වය  ලබාදී තිබේ.

කොළඹ - බදුල්ල දුම්රිය මගෙහි සියවස් සැමරුම සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් රු. 25/- ක   වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක්ද නිකුත් කිරීම ද මෙහිදී සිදු වූ තවත් විශේෂිත කටයුත්තකි.

අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැති මෙම කොළඹ - බදුල්ල දුම්රිය සියවස් සැමරුම වෙනුවෙන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, ඌව පලාත් දේශපාලනාධිකරියද සහභාගී වූහ.  

නවතම පුවත්