image 0b0e8544baශ්‍රී ලංකාව තුල පරිහරණය කළහැකි මෙරට රියදුරු බලපත් අවශ්‍ය විදේශිකයන් හට,ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේදීම ඉතා කඩිනමින් එම අවශ්‍යතාව ඉටුකරදීමට නව ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

අ‍ප්‍රේල් 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නව ක්‍රමවේදය තුළින්, ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා දීමට සැලසුම් කර තිබේ. මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක අමාත්‍යාංශය හා එක්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි. 

විදේශිකයන් විසින් සිය අවශ්‍යතාව මත මෙරට රියදුරු බලපත් අයදුම් කිරීමේදී ඒ සඳහා විශේෂිත වූ අයකිරීම් ක්‍රමවේදයක්ද සකසා තිබේ. මෙම ගාස්තු අය කිරීම බලපත්‍රය වලංගුවන කාලසීමාව මත පදනම්ව සලසා තිබේ. ඒ අනුව, මාසයක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය  ලබා ගැනීමට නම් ඩොලර් 25ක්ද, මාස තුනක් සඳහා ඩොලර් 50ක්ද, මාස හයක් සඳහා ඩොලර් 75ක්ද, අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ඩොලර් 200ක්ද වශයෙන් අය කිරීමට සැලසුම් කර තිබේ.

විදේශීකයන්හට මෙරට රියදුරු බලපත් ලබාගැනීමේදී මෙතෙක් කලක් අනුගමනය කළ වේරහැර කාර්යාලයට ගොස් එම බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට මෙම නව ක්‍රමවේදය හදුන්වා දීම තුළින් වඩාත් පහසු, ඉක්මන් මෙන්ම විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබාගත හැකි වෙතැයි බලාපොරොත්තු වේ. එමෙන්ම මෙම ක්‍රමවේදය විදේශිකයන් අතර ප්‍රචලිතවීම තුළින් ඔවුන් මෙරට රියදුරු බලපත් ලබාගැනීම සඳහා වැඩි වශයෙන් නැඹුරු වෙතැයි අපේක්ෂා කරන අතර එමඟින් සංචාරක කර්මාන්තය වැඩිදියුණුවට වන ආකර්ෂණය අනුව රටේ ආර්ථිකයට ද වඩාත් ශුභදායි  දායකත්වයක් ඇතිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

නවතම පුවත්