IMG 20240317 WA0000

මගී අවශ්‍යතාවය මත තාවකාලිකව වෙනත් මාර්ග සඳහා අනුයුක්ත කළ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අනුමත ස්ථිර මාර්ග බලපත්‍ර
එසේ අනුයුක්ත කරන ලද මාර්ගයට ස්ථිර කර ලබාදී ඇත.

පසුගිය සමය තුළ ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ස්ථිර මාර්ග බලපත්‍ර හිමි පිරිසකගේ බලපත්‍ර මගී අවශ්‍යතාවයන් උදෙසා තාවකාලිකව වෙනත් මාර්ග සඳහා සංශෝධනය කර තිබේ. එලෙස තාවකාලිකව ලබා දුන් මාර්ග බලපත්‍ර අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව නියමිත තාක්ෂණික අගයන් අයකර සංශෝධිත මාර්ගයේ ස්ථීර බලපත්‍ර බවට පත්කර පිරිනැමීම ගරු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 14 දින අමාත්‍යයංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

මේ වන විට රට තුළ මගී ප්‍රවාහන බස් රථවල අතිරික්තයක් පවතින අතර ජනතාව ක්‍රමක්‍රමයෙන් මගී ප්‍රවාහන බස් රථ භාවිතයෙන් ඈත්වීමක් ද දක්නට ලැබෙන බවත් මේ තත්ත්වය නිවැරදි කර ගනිමින් මගී ජනතාවට වඩාත් සමීප සේවාවක් ලබා දෙමින් මගී ප්‍රවාහන සේවාවන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දෙනා එක්ව දායක විය යුතු බව ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. එසේම අත්‍යවශ්‍යම තත්ත්වයක් යටතේ මිස වෙනත් කිසිදු හේතුවක් මත ඉදිරියේදී නව මාර්ග බලපත්‍ර ලබාදීමක් සිදු නොවන අතර විධිමත් ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් ඔස්සේ බස් රථ ධාවනය කිරීමට නියමිත වේ.

ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්, ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ශෂී වෙල්ගම මහතා ඇතුළු එම ආයතනයේ නිලධාරීන්, බලපත්‍ර ලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්