IMG 20240316 WA0000ශ්‍රී ලංකාවේ පළමු වරට ඉලෙක්ට්‍රෝනික දුම්රිය ප්‍රවේශපත්‍ර සහ ඉලෙක්ට්‍රෝනික දුම්රිය බලපත්‍ර ක්‍රමය ( E-Warrant & E -Ticket) හඳුන්වාදීම, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදුවිය.

2024 මාර්තු 14 දින පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී මෙම අවස්ථාව සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමග එක්ව මෙම නව ඩිජිටල් ක්‍රමවේදය ක්‍රියාවට නංවනු ලබයි.

මෙම නව ක්‍රමවේදය යටතේ සාමාන්‍ය දුම්රිය මගින්ට සහ සංචාරකයින්ට මාර්ගගත ක්‍රමය යටතේ ඉතාමත් පහසුවෙන් තම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ලැබේ. එහිදී මගීන්ට දුම්රිය ප්‍රවේශපත්‍රය මාර්ගගත ක්‍රමයට වෙන්කරවා ගැනීමෙන් අනතුරුව, දුරකථනය වෙත ලැබෙන QR සංකේතය සහිත ඉලෙක්ට්‍රෝනික ටිකට්පත සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලෙස ගමනාන්තය දක්වාම භාවිත කිරීමේ හැකියාව හිමිවෙයි. ඒ අනුව මෙතෙක් පැවති දුම්රිය ස්ථානය වෙත පැමිණ ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගැනීමේදී මගී ජනතාව මුහුණ දුන් අපහසුතාවයන් රැසක් මෙම ක්‍රමය ආරම්භවීමත් සමග මගහැරී යනු ඇත.

එමෙන්ම රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ලබාදෙන දුම්රිය බලපත්‍රයද, මාර්ගගත ක්‍රමය යටතේ ඉලෙක්ට්‍රෝනික දුම්රිය ගමන් බලපත්‍රයක් ලෙස වෙන් කර ගැනීමේ අවස්ථාව මෙම ක්‍රමය යටතේ හඳුන්වා දී තිබේ. ඒ අනුව තම කාලය ශ්‍රමය ඉතිරි කර ගනිමින්, MTicketing පහසුකම සහිත ඕනෑම දුම්රිය ස්ථානයකින් තම ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම සඳහා පැය 24 පුරාම මගී ජනතාවට අවස්ථාව හිමිවෙයි.

මෙම නව ඉලෙක්ට්‍රෝනික ප්‍රවේශ පත්‍ර ක්‍රමය සහ ඉලෙක්ට්‍රෝනික ගමන් බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමත් සමඟ සංචාරකයින්ට සහ මගී ජනතාවට ඉමහත් පහසුවක් හිමිවනු ඇත. එසේම මෙම ක්‍රමවේදය පිරිවැය අවම කරගැනීමේ මෙන්ම මනා විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් ලෙසද අර්ථ දැක්විය හැක. එසේම පසුගිය සමයේ බලපෑ නොයෙකුත් බාධක සහ අසීරුතා මධ්‍යයේ බිඳවැටුන සංචාරක කර්මාන්තයේ පුනර්ජීවය සඳහාද විශාල සහයෝගයක් ලබා දෙමින් ජාතික ආර්ථිකය ඉහළ නැංවීමටද විශේෂ මෙහෙවරක් ඉටුකරනු ඇත.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ලේකම්, ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා, විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශ ලේකම්, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්, එච්. එම්.පී. බී හේරත් මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී, ජනක අබේසිංහ මහතා, මොබිටෙල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සුදර්ශන ගීගනගේ මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරී, එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

නවතම පුවත්