IMG 20240314 WA0018විදුලියට පරිවර්තනය කරන ත්‍රීරෝද රථ සහ මෝටර් රථවලට අවශ්‍ය ආරෝපණ පහසුකම් ලබාදීම සහ ත්‍රීරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ මධ්‍යස්ථානයක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් විවෘත විය.

වේගා ඉනෝවෙටිව් ආයතනය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ 2024-03-14 දින ස්ථාපිත කල මෙම මධ්‍යස්ථානය මගින් කෙටි කාලයක් තුළ අඩු ධාරිතාවයකින් යුතු යතුරුපැදි, ත්‍රීරෝද රථ සහ අනෙකුත් විදුලි වාහන ආරෝපණය කළ හැකි ආරෝපණ පහසුකම් ස්ථාපනය කර ඇති අතර ඒ තුළින් පැයකට වඩා අඩු කාලයකදී ත්‍රීරෝද රථයක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි වේ. කිසිදු මුදල් භාවිතයකින් තොරව ජංගම දුරකථන යෙදවුමක් හරහා මෙම ස්ථානයේදී ත්‍රීරෝද රථ ඇතුළු වාහන ආරෝපණය කිරීම සහ ඊට අදාළ මුදල් ගෙවීම ඇතුළු කටයුතු සිදු කර ගැනීමේ තාක්ෂණික පහසුකම් ද පරිභෝගිකයින් වෙත සලසා තිබේ. ඉදිරියේදී දිවයින පුරා සියලු ආරෝපණ මධ්‍යස්ථාන වලට මෙම පහසුකම් ලබාදීම සඳහා වේගා ඉනෝවෙටිව් ආයතනය විසින් කටයුතු සැලසුම් කර ඇති බව පවසයි.

එමෙන්ම දැනට ඉන්ධන භාවිතයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ විදුලියට පරිවර්තනය කිරීම සඳහා CDB ආයතනය සමඟ එක්ව පහසු මුල්‍ය පහසුකම් ලබාදීමේ කාර්යාලයක්‌ ද මෙම පරිශ්‍රයේදී ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ ඕනෑම පාරිභෝගිකයකුට මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගෙන තම ත්‍රීරෝද රථය කෙටි කාලයක් තුල විදුලියට පරිවර්තනය කරගැනීමේ පහසුව හිමිවනු ඇත.

වේගා ඉනොවේටිව් සමාගමේ නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්, CDB මූල්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු නිලධාරීන්, ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්