IMG 20240301 WA0054අලි - දුම්රිය ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන්, මෙරට ප්‍රථම වරට දුම්රිය මාර්ගයට යටින් ඉදිකරනු ලබන වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව-ගැටදිවුල-කාසිකොටේ දී 2024 මාර්තු 01 ආරම්භ කෙරිණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, සුරකිමු දුම්රිය ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ පැවති සාකච්ඡා කිහිපයකින් අනතුරුව වනඅලින් මෙම දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරට පත්වීම වැළැක්වීම සඳහා මෙම විශේෂ පියවර ගෙන තිබේ.
මෙම වනජීවී උමං මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ සිදු කෙරෙන මහව - ඕමන්තේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, මෙලෙස එහි ඉදිකිරීම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කරන ලදී.

පිරිස අමතා අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
" මේ රටේ අනාගතය, පරිසරය, පරිසරය සුරැකීමේ වැදගත්කම යනාදී කරුණු පිළිබඳව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ආදී පරිසර සංවිධාන විවිධ ආකාරයේ ක්‍රමවේද යටතේ දිගටම හඬ නගමින් සිටිනවා. නමුත් විවිධ හේතු මත එම කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බාධා මතු වනවා. නමුත් පාහියන්ගල ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු පරිසර සංවිධාන නියෝජිතයින් අප මුණගැසුණු අවස්ථාවේදී උද්ඝෝෂණ ආදී ක්‍රියා මාර්ගයන් ගෙන් තොරව පවතින ගැටලු පිළිබඳ අවධානය යොමු කර අපට සිදු කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම පිළිබඳව අමාත්‍යංශයක් ලෙස ලබාදිය හැකි උපරිම දායකත්වය දීමට පොරොන්දුවක් ලබා දුන්නා. නමුත් එවැනි තත්වයන් පිලිබඳ රටේ පවතින සාම්ප්‍රදායික දෙපාර්තමේන්තු ක්‍රමවේද යටතේ ක්‍රියාමාර්ග ගැනීමට නිලධාරීන්ට හැකියාවක් නැහැ. පුරා වසර හැත්තෑ හයක් අපි විවිධ කමිටු පිහිටුවමින් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උත්සාහ දරා තිබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස රටේ බිහිවූ කිසිඳු රජයකට එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් ලැබී නැහැ. සියල්ලක් මත අපි සියලු දෙනාම ගත යුතු සංඛ්‍යාත්මක සත්‍ය වන්නේ කවර රජයක් යටතේ වුවත්, කවර ජනාධිපතිවරයෙකු යටතේ වුවත් සියලු සංවර්ධන කටයුතු සිදු කර තිබෙන්නේ දේශීය සහ විදේශීය වශයෙන් ණය ලබා ගැනීම තුළින් බවයි.

දිගින් දිගටම එලෙස ලබාගත් ණය නොගෙවීම මත මේ වන විට රටක් ලෙස අප දැවැන්ත අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.එම තත්ත්වය යටතේ වුවත් මෙම දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 3000ක මුදලක් ලබාදී තිබෙනවා. නමුත් 2014 වසරේ සිට අමාත්‍යවරු හත් දෙනෙකු මීට පෙර ප්‍රවාහන විෂයභාරව කටයුතු කලත් ඒ කිසිම අයෙකුට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඊට හේතු වූයේ දුම්රිය මාර්ගය නවීකරණය සඳහා මාස හය හතක් මාර්ගය ගලවා තිබීම හේතුවෙන් මහජන විරෝධයක් මතුවී තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු වනු ඇති බවට බොහෝ දෙනෙකු බිය වීමයි. නමුත් අමාත්‍යවරයෙකු ලෙස මම තීරණ ගැනීමට විය වන්නේ නැහැ. එම නිසා මෙම උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ පළමු අදියර ලෙස අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය මාස පහක් තුළ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි ආකාරයට නවීකරණය කොට අවසන් කළා. මහව සිට අනුරාධපුර දක්වා එහි දෙවන අදියර ද එළඹෙන පොසොන් පෝයට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට අප කටයුතු කරනවා. එවිට වසර 110 කට පසු පැයට කිලෝමීටර් සීයක වේගයෙන් යාපනයේ සිට ගමන් කිරීමේ අවස්ථාව මගී ජනතාවට හිමි වනවා. ඒ අනුව යාපනයේ සිට කොළඹට ගමන් කිරීමට ගතවන කාලය පැය පහ හමාරක් දක්වා අඩුවනු ඇති. රට ඉතාමත් අපහසු තත්ත්වයක තිබියදී වුවත් ණය වශයෙන් ලබා ගන්නා මුදලින් හෝ මිනිස් ජීවිත මෙන්ම සත්ව ජීවිතද ආරක්ෂා කර ගැනීමේ උදාර අරමුණින් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට සඳහා යොදා ගැනීමට හැකිවීම පිළිබඳව මා සතුටු වනවා යැයි පැවසීය.

ජාතික සංඝ සම්මේලනයේ ලේකම් කට්ටකඩුවේ සුමනරතන නාහිමි, සුරකිමු ශ්‍රී ලංකා පදනමේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, ඉෂාක් රහුමාන් මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන්, ඉදිකිරීම් භාර ඉන්දීය ඉර්කොන් සමාගමේ නියෝජිතයින්, CECB ආයතනයේ ප්‍රධානීන් ඇතුළු නිලධාරින්, සුරකිමු ශ්‍රී ලංකා පදනමේ සාමාජිකයින්, පරිසර සංවිධාන නියෝජිතයින්, අඹන්පොල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

නවතම පුවත්