බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මාර්ගෝපකරණ කාමරය, විදේශීය සංචාරක විවේක කාමරය, ආපනශාලාව ඇතුළු නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
1893 ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ආකර්ශනීයම දුම්රිය ස්ථාන අතරින් එකක් වන බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය පරිහරණය කරන විදේශීය සංචාරකයින් ඇතුළු මගී ජනතාව වෙනුවෙන් සලසන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහිතව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ ඩබ්.බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් ) වී. එස්. පොල්වත්තගේ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,ඌව පළාත් සංචාරක අමාත්‍යංශයේ අධ්යක්ෂ සම්පත් ප්‍රදීප් කුමාර නිශ්ශංක මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් අවස්ථාවට එක්ව සිටියහ.