WhatsApp Image 2024 02 18 at 12.39.33 2

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හා ලක්සල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන "ලක්සල - ඇල්ල " නව ප්‍රදර්ශනාගාරය සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්ල දුම්රිය ස්ථානයේ දී සිදු කෙරිණි.

ලක්සල ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ඉදි වන මෙම ගොඩනැගිල්ලේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට ගැලපෙන ආකාරයට බිම්මහල පොදු රථ ගාලක් ලෙසත්, උඩු මහල ලක්සල ප්‍රදර්ශනාගාරය ලෙසත් ඉදිකිරීමට නියමිතයි. එතුලින් ප්‍රදේශයේ සහ සමස්ථ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත, සහ ගෘහස්ථ ලෙස ස්වයං රැකියාවල නිරත නිර්මාණකරුවන්ට නව වෙළඳපොලක්ද බිහිවනු ඇති. එහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ සහ ඌව පළාතේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ වෙත විශේෂ ඉඩකඩක් වෙන් කිරීමටද සැලසුම් කර ඇත.

උත්සවය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"100%ක් රජය සතු ආයතන දෙකක් වන ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලක්සල ආයතනය එක්ව ආරම්භ කරන මේ ව්‍යාපෘතිය තුලින් ලබන ලාභයෙන් 5% ප්‍රතිශතයක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ආකාරයේ ඉතාමත් ඵලදායී වැඩසටහනක් ආරම්භ කිරීම කාලීන වශයෙන් ඉතාමත් වැදගත්. රජය සතු ආයතන දෙකක් ලෙස මේ සඳහා කිසිම කොමිස් මුදලක් වෙනත් නීති විරෝධී ගනුදෙනු කිසිවක් මෙම ව්‍යාපෘතිය තුළ නැහැ.

ලක්සල ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ඉදි වන මෙම ගොඩනැගිල්ලේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයටද ගැලපෙන ආකාරයට බිම්මහල පොදු රථ ගාලක් ලෙසත්, ලක්සල ප්‍රදර්ශනාගාරය ලෙසත් ඉදිකිරීමට නියමිතයි. එතුලින් ප්‍රදේශයේ සහ ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත හස්ත කර්මාන්ත නිර්මාණකරුවන්ට නව වෙළඳපොලක්ද බිහිවනවා. එහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ සහ ඌව පළාතේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ වෙත විශේෂ ඉඩකඩක් වෙන් කිරීමටද අප කටයුතු කරනවා. එතුළින් පළාතට නව අගයක්ද එකතු වනු ඇති.

නිදහසින් පසු මෙපමණ කාලයක් අප කල්පනා කළ ආකාරය මේ වනවිට වෙනස් කොට තිබෙනවා. මෙපමණ කලක් ගමන් කළ ගමන් මාර්ගයේ තවදුරටත් ගමන් කිරීමේ හැකියාවක් නැහැ. විදේශ විනිමය අර්බුදය,රාජ්‍ය මුල්‍ය අර්බුදය සහ රාජ්‍ය ණය අර්බුදය ඒ ක්‍රමවේද ඔස්සේ විසඳා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

රට තුළට වැඩි වැඩියෙන් ඩොලර් ගෙන ඒමේ මාර්ග විවර කර ගැනීමට නොහැකි වුවහොත්, රට නැවතත් මීට වසර දෙකකට පමණ පෙර පැවති අර්බුදකාරී තත්ත්වයට සමාන තැනකට පත් වීමේ අවදානමක් පවතිනවා. මීට වසර එකහමාරකට දෙකකට පමණ පෙර රට මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වය හමුවේ රටට අවශ්‍ය ඉන්ධන ගෑස් ඖෂධ කිසිවක් ආනයනය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ජනතාවට දින ගණනක් කෑස් ඉන්ධන වෙනුවෙන් පෝලිම්වල ගත කිරීමට සිදුවුණා. කලකෝලාහල ඇතිවුණා. ඇතමුන් මියගියා. දිනකට පැය දහයක් දොළහක් විදුලිය කප්පාදු කෙරුණා.පාස්කු ප්‍රහාරයෙන් සහ ආර්ථික අර්බුධයෙන් අනතුරුව සංචාරකයින්ගේ පැමිණීම විශාල වශයෙන් සීමා වුනා.

දැනට ගෙවිය යුතු ණය නොගෙවා සිටීම තුලින් පිරිමැසුම් දායක ලෙස කටයුතු කරමින්, අත්‍යවශ්‍ය ආනයන සිදු කරමින් වර්තමානයේ පවතින තත්වයට රට කළමනාකරණය කර තිබෙනවා. තවදුරටත් තිබෙන විදෙස් සංචිත ආරක්ෂා කරගනිමින් කටයුතු කලයුතුව පවතිනවා. එසේ නොවුන හොත් නැවත ඩොලරයේ වටිනාකම ඉහළ ගොස් ජීවත් වීම තවත් අපහසු තත්වයකට පත්වනු ඇති. රුපියල ශක්තිමත් වීම තුලින් යම් මිල පාලනයක් සිදු කරගැනීමට හැකි වී තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය අදෘෂ්‍ය අපනයනයක් ලෙස රුපියල ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක්‌ සිදු කරනවා. රටට පැමිණෙන සංචාරකයින් වැඩි වීම සහ ඔවුන් මෙරටදී ඩොලර් වැය කිරීම තුලින් රටේ ඩොලර් සංචිතය තවත් ශක්තිමත් වනවා. එම නිසා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයෝගයද ලබා දීමට අප කටයුතු කරනවා. ඒ අනුව අප ඉදිරිපත් කළ ස්ටේෂන් ප්ලාසා සංකල්පය පසුගිය අයවැයට යෝජනාවක්‌ ලෙසද ඇතුලත් කර තිබෙනවා.ඒ තුල පෞද්ගලික අංශය හා සම්බන්ධව ආදායම් උත්පාදන ක්‍රමවේද සඳහා යොමු වීමටත් අපේ අවධානය යොමු වී තිබෙනවා.අවිධිමත් ලෙස දුම්රිය සතු ඉඩම් සහ වත්කම් පරිහරණය සම්පුර්ණයෙන්ම නවතා දමනවා.එලෙස අනවසර සහ අවිධිමත් අත්පත් කරගැනීම් නියමනුකුල කිරීම සඳහා මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.රටේ ජනතාවගේ ජීවන තත්වය, ආදායම් තත්වය ඉහළ නැංවීමට දායක වන ඕනෑම ඵලදායී දෙස් විදෙස් ආයෝජන ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය සහිතව අවශ්‍ය අනුමැතිය ලබා දීමට අප පියවර ගන්නවා.

ඉතිහාසයේ සිදු වූ වැරදි නිවැරදි කරගනිමින් රට වැටුණු තැනින් යළි ගොඩ ගැනීමට අප කටයුතු කළ යුතුයි.මේ දේපොළ වඩාත් කාර්යක්ෂමව, පලදායීව වැඩි වන අයුරින් යොදා ගැනීමට අප සැලසුම් කරනවා.රටට වාසිදායක යෝජනා සඳහා දේශපාලන, පක්ෂ පාට, ජාති ආගම් භේදයකින් තොරව අපේ සහයෝගය ලබා දෙනවා.

මා ග්‍රාමීය කටයුතු සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දේශීය නිර්මාණකරුවන්,හස්ත කර්මාන්තකරුවන්ට,ශිල්පීන්ට ශක්තිය ලබා දීමට කිඹිස්ස වැනි නිෂ්පාදන ගම්මාන පිහිටුවීමට පියවර ගත්තා. මෙම ව්‍යාපෘතියත් සාර්ථක කර ගනිමින් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය මාස තුනක් ඇතුළත ඉදි කර අවසන් කිරීමට සැලසුම් කර ඇති ආකාරයට බව මා විශ්වාස කරනවා."

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා,ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය සහ ලක්සල සභාපති රුෂාන් මාරඹගේ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච් එම් කේ ඩබ් බණ්ඩාර මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරියවරුන්, ලක්ෂණ ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.