FB IMG 1705984245961

වවුනියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවේදී ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

"රට තුළ ඇති වූ ආර්ථික අර්බුද හමුවේ දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව සියලු දෙනා විශාල පීඩාවන්ට මුහුණ දුන්නා. රටේ විදේශ සංචිත හිඟවීම හේතුවෙන් රට කිසිසේත් නැවත ගොඩ ගත නොහැකි තත්ත්වයකට පත්වුණා. ඒ තුළින් විශාල සමාජ අසහනයක් සහ ජනතාව අතර නො සන්සුන්තාවක් ඇතිවුණා.

එවැනි දරුණු අවදානම් තත්ත්වයක පැවැති රට නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා විශාල කැපකිරීමක් සහ වගකීමක් ඉටුකළා. එහි ප්‍රතිඵලයක් ලෙස රට ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයක් ඇතිකරගෙන තිබෙනවා. ලබාගත් ණය නැවත ගෙවා අවසන් කිරීම සඳහා මේ වන විට වැඩපිළිවෙලක් සකසා අවසන්.

ආරම්භ කර තිබූ බොහෝ සංවර්ධන ව්‍යාපෘති පසුගිය වසර තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙතෙක් සිදුකළ සියලු ප්‍රාග්ධන වියදම් දරා ඇත්තේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීම තුළින්. නමුත් තවදුරටත් ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වය තුළ දෙස් විදෙස් විශේෂඥයින්, මිත්‍ර රටවල රාජ්‍ය නායකයින් සියලු දෙනාගේ සහාය ලබා ගනිමින් ණයත් නැවත ගෙවීම පිළිබඳ එකඟතාවයන්ට එළැඹීමට හැකිවීම හේතුවෙන් මේ වර්ෂයේ නැවත රට තුළ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ හැකියාව උදාවී තිබෙනවා. ඒ අනුව උතුරු පළාතේ ද අතරමග නතර වී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා.

මෑත භාගයේ වැඩිම ආයෝජනයක් සිදුකර තිබෙන ව්‍යාපෘතිය වන්නේ උතුරු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ප්‍රථම වරට අනුරාධපුර සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කොට තිබෙනවා. එළඹෙන හත් වැනිදා මහව සිට අනුරාධපුර දක්වා කොටසේද නවීකරණ කටයුතු ආරම්භ වනවා. එළඹෙන පොසොන් පෝයට පෙර එම කොටසද විවෘත කිරීමට අප බලාපොරොත්තු වනවා. ඒ අනුව යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය පහ හමාරක් දක්වා අඩු කිරීමට හැකි වනු ඇති. ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය ලංකාවේ දුම්රිය මාර්ග අතරින් සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කළ, ඉදිරි වසර පනහක් පමණ දක්වා නැවත ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නොවන දුම්රිය මාර්ගය බවට පත් වනු ඇති.

ඉන් අනතුරුව සතියකට දින දෙකක් හෝ යාපනය කොළඹ අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂ දුම්රියක් යෙදවීමටත්, නව ආකාරයේ සංචාරක දුම්රිය සේවාවන් කිහිපයක් ආරම්භ කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ගේට්ටු නොමැති සංඤා පූරු පමණක් සවිකර ඇති හරස් මාර්ග සඳහා වඩාත් ආරක්‍ෂිත Bell & Light ගේට්ටු ලබාදීමේ වැඩපිළිවෙලක් මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික අධිකාරිය සහ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු නව බස් රථ සෑම ඩිපෝවක් වෙතම බෙදා දී තිබෙනවා. ඩිපෝ ලබන ආදායමෙන් මුදල් ගෙවීමේ පදනම යටතේ වායු සමීකරණය කරන ලද බස් රථ ඇතුළු බස් රථ දහසක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. එමෙන්ම අබලන්ව පවතින බස් රථ සඳහා නව එන්ජින් ලබාදී නැවත ධාවන තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වසර තුළ ක්‍රියාත්මක වනවා.

අනුරාධපුර සහ මිහින්තලය විසල් නගරයන් කේන්ද්‍ර කර ගනිමින් සැපයුම් කේන්ද්‍රස්ථානයක් ඇති කිරීම සඳහා දුම්රිය මාර්ගයේ මූලික කරගත් ව්‍යාපෘතියක් සඳහා අයවැය සඳහා යෝජනාවක්ද ඇතුලත් කර තිබෙනවා. එමෙන්ම දුම්රිය රක්ෂිතය ආශ්‍රිත ඉඩම් කෘෂිකර්මික කටයුතු ඇතුළු ඵලදායි ව්‍යාපෘති සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීම සඳහා මේ වන විට යෝජනා ලබා ගනිමින් තිබෙනවා. එමෙන්ම Station plaza සංකල්පය පිළිබඳ යෝජනාවක්ද මෙවර අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබෙනවා. එම නිසා සියලු දෙනාගේම දායකත්වයෙන් මේ වසර තුළ නැවත රට ගොඩනැගීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා."

ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා, වවුනියාව සම්බන්ධිකරන කමිටු සභාපති කුලසිංහම් දිලීපන් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, පළාත් මහලේකම් තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.