FB IMG 1704333811602

" පසුගිය වසරේ ළඟා වීමට නොහැකි වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට වැඩිපුර වැඩ කරන වසරක් බවට නව වසර පත් කර ගත යුතුයි. "
 
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
 
 2024 වසරේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීම  ප්‍රවාහන,  මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ කාර්යාලයේදී සිදුවිය. එහිදී අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
 
 එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පසුගිය වසර තුළ සැලසුම් කළ ඇතැම් ව්‍යාපෘති වල සපුරා ගත නොහැකි වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීම සඳහා අමාත්‍යංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක සියලූම ආයතනවල නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවිය යුතුයි. ඒ සඳහා නව ශක්තියක් ලබාදීමට හැකි ඉංජිනේරුමය කාර්යයන් සහ පරිපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද බොහෝ අත්දැකීම් සහ මනා පළපුරුද්දක්‌ සහිත නිලධාරියකු  වන ඉංජිනේරු රන්ජිත් රූබසිංහ මහතා නව අමාත්‍යංශ ලේකම්වරයා ලෙස  පත්ව තිබෙනවා.
 
 ඒ අනුව නව වසරේ වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම සඳහා කඩිනම් තීරණ ගැනීම ඉතාමත් අවශ්‍යයි. එසේ නොවුවහොත් මෙම අමාත්‍යංශයට අනෙකුත් අමාත්‍යාංශ ඉක්මවා යා හැකි ආකාරයේ අලුත් දෙයක් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අපේ සේවා කාලය අවසන් වන විට රටට ඉතිරි කර ඇත්තේ මොනවාද යන්න පිළිබඳව කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතුයි. අමාත්‍යාංශ රාශියක කටයුතු කිරීමේදී බොහෝ නව සංකල්පයන් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණා. වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ආරම්භ කරන ලද සතොස වෙළඳසැල්,කෝප් සිටි, දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අප එම අමාත්‍ය දුරවලින් ඉවත් වීමෙන් අනතුරුවත් රටට සේවය කරමින් පවතිනවා. ඒ අනුව යමින් අනුරාධපුරයේ මිහින්තලය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක්  මේ වනවිට කටයුතු සැලසුම් කර තිබෙනවා.
 
ඉතාමත් අභියෝගාත්මකව ගෙවුණු පසුගිය වසර තුළ  අප සැලසුම් කළ සියලු ඉලක්කයන්ට ළඟා වීමට නොහැකි වුවත් මේ වසර ඊට වඩා වැඩිපුර වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කරන වසරක් බවට පත් කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුයි.
 
ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුතම ආර්ථික අභියෝගයන් පසු කරමින් සිටින මේ අවස්ථාවේ රටට ලැබීමට නියමිත විදේශීය ණය ආධාර නිවැරදි ආකාරයෙන්, ඵලදායි ලෙස භාවිතා කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කරගත යුතුයි. අප මෙම අමාත්‍යංශයේ වගකීම භාරගන්නා අවස්ථා වී පැවති තත්ත්වයට වඩා බොහෝ ආයතනවල ආදායම් මේ වන විට වර්ධනය වී තිබීම සතුටට කරුණක්. තවදුරටත් කාර්යක්ෂමව කටයුතු කරමින් මේ වසර අවසාන වන විට සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සියලු දෙනාගේම ඉලක්කය විය යුතුයි. ඒ වෙනුවෙන් සිදුවන සොරකම්, වංචාව, දූෂණ, අක්‍රමිකතා මැඩ පැවැත්විය යුතුයි. ආයතන ප්‍රධානීන්, කාර්ය මණ්ඩල, වෘත්තීය සමිතිය ඇතුළු සියලුම පාර්ශ්වයන්ගේ ඵලදායි යෝජනාවලට සහ අදහස් වලට අවස්ථාව ලබා දෙමින් කටයුතු කිරීම තුළින් මෙම වර්ෂය වඩාත් සාර්ථක වර්ෂයක් බවට පත් කරගැනීමට සියලු දෙනාට හැකියාව ලැබෙනු ඇති."
 
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියලුම ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්