52“වර්ථමාන රජයේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන කවුරුන් හෝ බලය ලබා ගත්තත් ඒ රජය පවත්වාගෙන යා හැක්කේ සති දෙකක කාලයක් පමණයි.”

අක්කරේපත්තුව ඩිපෝව යටතේ 2005 වසරේ සිට උප ඩිපෝවක් වශයෙන් ක්‍රියාත්මක වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පොතුවිල් උප ඩිපෝව ප්‍රධාන ඩිපෝවක් බවට පත් කිරීම සහ ඩිපෝවේ නවීකරණ කටයුතු සඳහා මුල්ගල තැබීම සිදු කෙරිණි.

පොතුවිල් හා අරුගම්බේ සංචාරක කලාප සම්බන්ධිකරණය කරමින් පොදු මගී ප්‍රවාහන සේවාවන් තව දුරටත් විධිමත් කිරීම හා පුළුල් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙතෙක්අක්කරේපත්තුවප්‍රධාන ඩිපෝව යටතේ උප ඩිපෝවක් ලෙස ක්‍රියාත්මක වූ පොතුවිල් උප ඩිපෝව මෙතැන් පටන් ප්‍රධාන ඩිපෝවක් ලෙස ජනතාව වෙත වඩාත් පුළුල් සේවාවක් සපයමින් ක්‍රියාත්මක වනු ඇති. රු. මිලියන 60ක ප්‍රතිපාදන යටතේ, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිතවේ.

"දීර්ඝ කාලයක් රටේ සංවර්ධන කටයුතු ඇණහිට තිබුණු තත්වයක් තුළ පොතුවිල් ඇතුළු නැගෙනහිර පළාතේ අලුත් සංවර්ධන වැඩපිළිවෙළක ආරම්භක අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකියියි. ඒ යටතේ පොතුවිල් හා ලාහුගල ප්‍රදේශ දෙකම ආවරණය වන පරිදි ඩිපෝ අධිකාරිවරයකු යටතේ පාලනය වන ප්‍රධාන ඩිපෝවක් ලෙස පොතුවිල් උප ඩිපෝව සංවර්ධනය කිරීමට ලැබීම තුළින් පළාතේ පොදු ප්‍රවාහන සේවය වඩාත් පලදායී ලෙස කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.එහි මූලික අදියර දෙසැම්බර් 31 වැනි දින වන විට අවසන් කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.ඉතිරි කොටස ලබන වසරේ මුල් පරිච්ඡේදය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වනවා. මෙහි ඉදිකිරීම සඳහා කිසිදු පෞද්ගලික කොන්ත්‍රාත්තුවක් ලබා දී නොමැති අතර රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රාජ්‍ය ආයතනයක් වශයෙන් එහි ඉදිකිරීම් භාරව කටයුතු කරනවා.

ආරුගම්බේශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලෝකය පුරාම ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක්. ආරුගම්බේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ගමනට විශාල පිරිවැයක් දැරීමට සිදු වනවා.පෞද්ගලික රථයකින් එම ගමනාන්තය සඳහා රු.50000 ට අධික මුදලක් වැය වෙනවා. එය ඉතිහාසයට එකතු කරමින් හෙට දින සිට අධි සුඛෝපභෝගී බස් රථයකින් රුපියල් 2900 ක මුදලකට ආරුගම්බේ සිට ගුවන්තොටුපල දක්වා යෑමට නව බස් රථ සේවයක් ආරම්භ කිරීමට මේ සමග අප කටයුතු කරනවා.

දිවයිනේ ප්‍රධාන සංචාරක කලාප හරහා පොදු ප්‍රවාහන සේවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඇල්ල දක්වා ගමන් කරන ඇල්ල ඔඩෙසි දුම්රිය හෝ වෙනත් විකල්ප දුම්රියක්‌ හරහා ආරුගම්බේ ඇතුළු ප්‍රදේශ වලට ළඟාවීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අප බලාපොරොත්තු වනවා.

මේ සියළු සංවර්ධන කටයුතු සඳහා මුදල් සපයා ගැනීම ඉතාමත් බරපතල තත්වයක පවතිනවා. " පුපුරා යෑමට ආසන්න ගිනි කන්දක් උඩ තාච්චියක් තබාගෙන සොසේජස් කන ජාතියක් " වැනි ඉතාමත් අවදානම් තත්ත්වයක අප පසුවන බව පසුගියදා මා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එතරම් අවදානම් තත්ත්වයත් අපේරට පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති ඇතැම් දේශපාලනඥයන් රටට සඟවනවා. බංකොළොත් රටක් බව ලෝකයට නිල වශයෙන් ප්‍රකාශ කරමින් මේ වන විට වසර දෙකක් විදේශ ණය නොගෙන පවතිනවා.ඒ පිළිබද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ වැඩපිළිවෙළක නිරත වෙමින් පවතිනවා.තවමත් එය නිම වී නැහැ.2048 වසර දක්වාම අප විසින් ලබාගත් ණය කොටස් වශයෙන් ගෙවීමට අන්තර්ජාතික නීතිය යටතේ අප බැඳී සිටිනවා. මෙලෙස පත්ව සිටින නරකම තත්ත්වයෙන් රට ගොඩ ගැනීම පිණිස ජනාධිපතිතුමා පෞද්ගලිකවම අසීමිත කැපකිරීමක් සිදු කරමින් ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු රටවල රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධාන මුණගැසී සාකච්ඡා සිදු කළා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පොදු වැඩ පිළිවෙලකට මේ වන විට එකඟ වී තිබෙනවා.2027 දක්වා කෙටිකාලීන වැඩපිළිවෙළක්, ඉන් ඉදිරියට තවත් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඒ යටතේ සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 2027 දක්වා කවුරුන් විසින් රටේ රාජ්‍ය බලය හෙබවූවත් ජාත්‍යන්තර වෙළඳ පොළට කිසිදු සංවර්ධන බැඳුම්කරයක් නිකුත් කිරීමේ හැකියාවක් අපේ රටට නැහැ. 2027 න් පසුවත් ලබාගත හැකි වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1500 ක් පමණයි. ඒ වන විට රටේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 14 දක්වා වැඩිවී තිබිය යුතුයි. එලෙස සැලැස්මකින් පමණයි රට පැවතිය හැක්කේ.

“මේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන කවුරුන් හෝ බලය ලබා ගත්තත් ඒ රජය පවත්වාගෙන යා හැක්කේ සති දෙකක කාලයක් පමණයි.” එසේ වුවහොත් බංකොලොත් රට තවත් බංකොලොත් වී අගාධයටම පත්වීමේ අවදානමක් පවතිනවා.මේ පවතින අර්බුදය පිළිබඳ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ක්‍රිකට් අර්බුදය ගැන තරම් වත් තැකීමක් සිදු කරන්නේ නැහැ.කවදා හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙකු මේ ණය ප්‍රමාණය ගෙවන ආකාරය පිළිබඳව රටට කරුණු පැහැදිලි කළ යුතුය.

එවැනි දැවැන්ත අර්බුදයක් හමුවේ සියලු සංවර්ධන කටයුතු ඇණ හිට තිබෙනවා. ඒ සියල්ල සිදු කරනු ලැබුවේ විදේශ ණය හා ආධාර යටතේ.මේ වන විට ඒ සියල්ල නතර වී තිබෙනවා.මේ ආර්ථික අර්බුදයට කිසිදු දේශපාලන විසඳුමක් නැහැ. සියලුම ජාති ආගම් භේද මගහැර රටේ දියුණුව ප්‍රාර්ථනා කරන ජනතාව එකට එක් වී කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි."

උත්සවයට සමගාමීව පොතුවිල් උප ඩිපෝවේ දීර්ඝ කාලයක් සේවය කල කාර්ය මණ්ඩලය අගයමින් උපහාර තිළිණ ප්‍රධානය කිරීමද අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ගේ සුරතින් සිදු විය.

අරුගම්බේ සිට පොතුවිල් හරහා කටුනායක ගුවන් තොටුපල දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදු කෙරෙන අධි සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කිරීමද මෙහිදී අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් සිදු විය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා, දිගමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතා, දිගමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් එම් මුෂාරාෆ් මහතා,ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා,රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේවේ සභාපති කුෂාන් දේවින්ද මහතා,ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්