51
 

"2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ රැඩිකල් වෙනස්කම් රාශියක් ඇති කරන හැරවුම් වසරක් බවට පත් කළ යුතුයි."

නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන ලෝක පොදු ප්‍රවාහන දිනයට සමගාමීව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය.

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හා එක්ව සංවිධානය කරන ලද පොදු ප්‍රවාහනයේදී කාන්තා හිංසනය පිටු දැකීම, සුරක්ෂිතතාවය හා සුව පහසුව තහවුරු කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ වූ අතර ඊට සමගාමීව බස් රථ වලදැනුවත් කිරීමේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

පොදු මගී ප්‍රවාහන බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරුන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ වෛද්‍ය සායනයක් ද බහුවිධ පවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් වායු විමෝචන දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාත්මක විය.

"අප රට තුළ මෙන්ම ලෝකයේද ජනතාවගේ මගී ප්‍රවාහන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ඉටු කරන්නේ බස්රථ, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් තුළින්. මේ වට විට පැවැත්වෙන ප්‍රවාහනය හා සම්බන්ධජාත්‍යන්තර සමුළු හා සම්මන්ත්‍රණ වලදී අනාගත ලෝකයේ ප්‍රමුඛතම මගී ප්‍රවාහන මාධ්‍ය ලෙස විදුලි දුම්රිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙමින් පවතිනවා.2030/2050 වන විට රටවල් තුළ සහ රටවල් අතර ප්‍රවාහනය සඳහා විදුලි දුම්රිය ප්‍රධාන මාධ්‍යය බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කයක්.

වඩාත් සුරක්ෂිත, විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායි ගමනාගමන සේවයක් සඳහා ජනතාව වැඩි වශයෙන් විදුලි දුම්රිය වෙත යොමු වනු ඇති බව සැලසුම්කරුවන්ගේ අදහසයි. ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් රටවල් අතර විදුලි දුම්රිය සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. චීනය කේන්ද්‍ර කරගත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහන වැනි බොහෝ වැඩසටහන් යටතේලෝකයේ රටවල් රැසක් ඒකාබද්ධ කෙරෙන මෙවැනි විදුලි දුම්රිය පද්ධතීන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව 2050 වසර පමණ වන විට ලෝකයේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය බවට විදුලි දුම්රිය සේවය පත්වනු ඇති.

එම දිශානතිය උදෙසා ගමන් කිරීමට මේ වන විට එකදු විදුලි දුම්රිය මාර්ගයක් හෝ නොමැති ශ්‍රී ලංකාවේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා කිලෝමීටර් 60ක පමණ දුර ප්‍රමාණය විදුලි දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමේ උත්සාහයඅප දරමින් සිටිනවා.

එමෙන්ම දැනට ලංකාව තුළ පවතින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අමතරව ජපන් ජාත්‍යන්තර සහයෝගිතාවය යටතේ එළඹෙන වසර තුළ අවම වශයෙන් තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන තුනක් හෝ ශ්‍රී ලංකාව තුල ආරම්භ කිරීමටබලාපොරොත්තු වනවා. ඒ අනුව කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වලින් විශාල ප්‍රමාණයක් මේ වනවිට අවසන්ව පවතිනවා. එය නිම කිරීමේ වගකීම ලබන වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකු ආධාර යටතේ මහනුවර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමි වුණා. දීර්ඝ කාලයක් ප්‍රමාද ව පැවතිමෙම ව්‍යාපෘතිය ලබන වසර තුළ ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය, මධ්‍යම බස් නැවතුම් පොළ, බැස්ටියන් මාවත බස් නැවතුම්පළ යන මේ ස්ථාන සියල්ල ඒකාබද්ධ කරමින් මහ කොළඹ මහ නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන්ට සිදුවන කරදර හිරිහැර හේතුවෙන් බියෙන් හා සැකයෙන් තොරව ගමන් කිරීමේ නොහැකියාව වැනි ගැටලු සඳහා සමාජයේ වැඩි අවධානයක් යොමු කිරීම මෙවර පොදු ප්‍රවාහන දිනයේ තේමාවයි. මෙම තත්ත්වයන් අවම කිරීම උදෙසා ප්‍රබුද්ධ සාකච්ඡාවක් ඇති කිරීම සඳහා මෙවර ප්‍රවාහන දිනය යොදාගැනීම ලෝකයේම එකඟතාවයයි.

ඒ අරමුණින් කාන්තාවන්ට ආරක්ෂා සහිතව කිසිදු බියක් හෝ සැකයකින් තොරව පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම සඳහා වන සංවාදයක් රට තුල ඇති විය යුතුයි.

එළැඹෙන 2024 වර්ෂය ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ රැඩිකල් වෙනස්කම් රාශියක් ඇති කරන හැරවුම් වසරක් බවට පරිවර්තනය කිරීම සඳහා වන ඉලක්කයට අප සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුයි."

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගමමහතා, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නියෝජිතයින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.