12

මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ සංඥා සහ සන්නිවේදන පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් එල්. එච්. තිලකරත්න මහතා සහ ඉන්දියානු රජය යටතේ ක්‍රියාත්මක වන ඉර්කෝන් ජාත්‍යන්තර සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින්පරාග් වර්මා මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු කරන ලදි.

ඉන්දියානු එක්සිම් බැංකුව මගින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන15 (රු. කෝටි 490)කි.

"ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ශ්‍රි ලංකාවේ ඉතාමත් කිට්ටු හිතවතෙක්‌. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ නතර වී තිබූ ව්‍යාපෘති රාශියක් ඉදිරියට ගෙන යාම සඳහා එතුමන් විසින් අනුපමේය දායකත්වයක් ලබා දුන්නා. මෙම සියලු ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර තිබෙන්නේ මා අමාත්‍යාංශයේ වගකීම භාර ගැනීමට පෙරයි.ඊට කැබිනට් අනුමැති හිමිවී තිබෙන්නේ 2015 වසරේදීයි. ටෙන්ඩර් කැඳවීම සිදුව තිබෙන්නේ 2018/19 වසර වල. ඉන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද කරමින් විවිධ බලවේග විසින් මෙම ව්‍යාපෘති දිගින් දිගටම කල් දැමීමට උත්සාහ කරනු ලැබුවා. කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික බිඳවැටීම් හේතුවෙන් තවදුරටත් අඩපන වූ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අමාත්‍යවරයා ලෙස මමත් අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ඉන්දියානු මහකොමසාරිස් තුමාගේ නිල නිවසට ගොස් එතුමා මුණ ගැසී සාකච්ඡාවක නිරත වුණා. එම අවස්ථාවේ කොන්දේසි විරහිතව නතර වී තිබුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා එතුමාගේ පූර්ණ දායකත්වය ලබා දීමට ඒ මොහොතේම පොරොන්දු වුණා.

ඒ අනුව එතුමා ඇතුළු නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භකරනු ලැබුවා. ඒ අනුව අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ වැඩ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කොට තිබෙනවා. එළඹෙන ජනවාරි මාසයේදී අනුරාධපුර සිට මහව දක්වා දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ද ආරම්භ කිරීමට පියවර ගන්නවා.

ඒ අතර ම ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක් වටිනා ඉතාමත් දියුණු තත්ත්වයේ සංඥා සහ සන්නිවේදන පද්ධතියක් වෙනුවෙන් ලබා දී තිබූ ටෙන්ඩරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම මේ මොහොතේ සිදු වනවා.ඒ අනුව එළඹෙන වසරේ ජූලි මාසය වන විට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ධාවනය කළ හැකි දියුණු දුම්රිය මාර්ගයක් නිමකර එහි සම්පූර්ණ ගමන් කාලය පැය දෙකකින් පමණ අවම කිරීමට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ තුළින්ඉතාමත් කාර්යක්ෂම දුම්රිය සේවයක් ජනතාව වෙත ලබා දීමේ ශක්තිය ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.

ඒ සඳහා සහයෝගය ලබා දුන් ඉන්දියානු රජයට, අග්‍රාමාත්‍යතුමාට, ඉන්දියානු මහා කොමසාරිස් තුමාටත්ටත් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මාගේ ස්තූතිය සහ ගෞරවය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා.එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල අඩුපාඩුවක් ව පවතින දුම්රිය එන්ජින් විස්සක් පමණ ලබාදීමට කටයුතු කරන ලෙස ඉන්දියානු මහකොමසාරිස්තුමාගෙන් මා ඉල්ලීමක්‌ සිදුකළා.ඒ අනුව දුම්රිය එන්ජින් විසි තුනක් පමණ ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව කරුණු සලකා බලමින් පවතින බව මහ කොමසාරිස් තුමා මා වෙත දන්වා තිබෙනවා.

මේ සියලු සබඳතාවයන් සමගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු වනු ඇති බව මා විශ්වාස කරනවා."

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා, මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා, ඉන්දියානු කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් ඉරිනා තාකුර් මහත්මිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ වැඩබලන ලේකම් එල් එච් තිලකරත්න මහතා, ඉර්කොන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් පරාග් වර්මා මහතා,ආනන්ද් කුමාර් සිං මහතා ඇතුළු නියෝජිතයින්, අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.