11

" දිනකට ලක්ෂ 50 ක ආදායමක් ලංගමට අහිමි කරමින් ධාවනයෙන් ඉවත් කර ඇති අධි සුඛෝපභෝගී බස්රථ 50ක් ඉතිරි මාස හය තුළ නැවත ධාවනයට එක් කරනවා. "

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතනයේ බස්රථ අංගනයේ විශේෂ නිරීක්ෂණයකට එක්විය. විවිධ කාර්මික දෝෂ, අමතර කොටස් හිඟය ඇතුළු ගැටළු හේතුවෙන් දැනට ධාවනය සිදු නොකරන බස්රථ පනහකට අධික ප්‍රමාණයක් මෙම අංගනයේ ගාල් කර ඇත. ලංගම වෙත විශාල ලාභයක් දෛනිකව අහිමි කරන මෙම බස් රථ කඩිනමින් අලුත්වැඩියා කර නැවත ධාවන තත්ත්වයට පත් කිරීමසඳහා උපදේශකවරයෙකු ලෙස ඉංජිනේරු කුෂාන් වෑගොඩපොල මහතා පත්කර ඇති අතර ඉදිරි මාස හය තුළ මෙම බස් රථ නැවත ධාවන තත්ත්වයට එක් කිරීමේ වගකීම ඔහු වෙත පවරා තිබෙනවා.

"ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේප්‍රවාහන පහසුකම් ලබාදීම වෙනුවෙන් රජයේ මගින් මෙරටට ගෙන්වන ලද බස්රථ මීට වසර දහයකට පෙර ලංකා ගමනාගමන මණ්ඩලය වෙත භාරදී තිබෙනවා. එම බස්රථවල සහතික කරන ලද කාලය වසර 8ක්‌.මේ වන විට එම බස්රථ වසර දහයකට වඩා පැරණියි. දිනකට රුපියල් ලක්ෂයකට වඩා ශුද්ධ ලාභයක් ඉපයිය හැකි මෙම බස් රථ 50 කට අධික ප්‍රමාණයක් කටුබැද්ද අංගනයේ ගාල්කර තිබෙනවා. ඒවා අලුත්වැඩියා කර ගැනීමේ හැකියාවක් නැහැ. ලංගම සභාපතිවරයා මෙම බස් රථය නැවත ධාවන තත්ත්වයට ගෙන ඒම සඳහා විශේෂ උත්සාහයක නිරත වුණා.මෙම බස් රථ මේ ආකාරයෙන් ගාල් කර තබන එක් දිනකට ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් ලක්ෂ 50ක පාඩුවක් සිදු වනවා.

ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමකින් අනතුරුව ඉතිරි මාස හයක කාලය තුළ මෙම බස් රථ 50 නැවත ධාවනයට එක් කිරීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් සඳහාමෝටර් රථ යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳව කැනඩාවේ දීර්ඝකාලීන අධ්‍යාපනය හදාරා, ඉහළ සුදුසුකම් සහ දීර්ඝකාලීන අත්දැකීම් සහිත, ලක්දිව ඉංජිනේරු සමාගමේ හිටපු සභාපති ඉංජිනේරු කුෂාන් වෑගොඩපොල මහතා උපදේශකවරයෙකු ලෙස ලංගම අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන ආයතනය වෙත පත්කරනු ලැබුවා.

මීට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් මෙම බස් රථ නිෂ්පාදනය කරන චීන සමාගම් සමඟ සාකච්ඡා සිදු කර, අවශ්‍ය අමතර කොටස් ලබා ගනිමින්, ඉදිරි මාස හය තුළ මෙම වටිනා බස් රථ නැවත ධාවන තත්ත්වයට පත් කිරීමේ වගකීම එතුමාට පවරා තිබෙනවා.

මීට පෙර මේ සම්බන්ධව දරා ඇති සියලුම උත්සාහයන් ව්‍යාර්ථ වී ගොස් තිබෙනවා. මේ ආකාරයෙන් කාලයක් පවතින විට මේ බස්රථ තවදුරටත් දිරාපත්වී ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකියි.එලෙස විශාල ජාතික හානියක් සිදුවීම වළක්වා ගැනීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ලෙස ගමනාගමන මණ්ඩල පනත යටතේ පැවරෙන බලතල ප්‍රකාරව මේ පියවර ගනු ලැබුවා."