8

ලංගම ඩිජිටල්කරණයේ තවත් පියවරක් ඉදිරියට තබමින් "1958- ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය” ජනතා අයිතියට පත් කෙරේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ලංකා ගමනාගමන මණ්ඩලය පුර්ණ ඩිජිටල්කරණයට ලක්‌ කිරීමේ වැඩසටහන යටතේ, මගී ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීම හා සුහදශීලී මගී ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් ස්ථාපනය කරන ලද “ 1958- ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය” ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘතකරනලදි.

ලංකා ගමනාගමන මණ්ඩලය රාජ්‍ය ආයතනයක් ලෙස ආරම්භ කරන ලද වර්ෂය සිහිපත් කරමින් 1958 ලංගම ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය ස්ථාපනය කරන ලද මෙම තොරතුරු කේන්ද්‍රය මගින් 1958 ක්ෂණික දුරකථන අංකය හරහා දිවයිනේ ඕනෑම ස්ථානයක සිට මගීන්ට ලංකා ගමනාගමන මණ්ඩලයට සම්බන්ධ තොරතුරු,පැමිණිලි, යෝජනා වඩාත් පහසුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය මඟින් බස්රථ සම්බන්ධ පැමිණිලි, බස්රථ කාලසටහන් පිළිබඳ විස්තර, ඇතුළු පහසුකම් රැසක් මගී ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති අතර, දැනට GPS තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බස්රථ නිරීක්ෂණය ද මෙම මධ්‍යස්ථානය හරහා සිදුකෙරේ. ඉදිරියේදී මාර්ගගත ක්‍රමයට ලංගම බස් රථවල ආසන වෙන් කිරීමේ සේවාවද මෙම තොරතුරු කේන්ද්‍රය හා ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත. එසේම ලංගම තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් මාර්ග සිතියම එළි දැක්වීමද මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි.

මධ්‍යස්ථානය වෙත ලබා ගන්නා තොරතුරු කඩිනමින් අදාළ අංශ වෙත යොමු කිරීම සහ ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම සිදුකරන අතර, මගින් විසින් සිදුකරනු ලබන පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව පැමිණිලි කරන ලද මගීන් වෙත නැවත දැනුම් දීම ද ලංගම තොරතුරු කේන්ද්‍රය හරහා සිදුකෙරේ.

මෙම අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" පොදුජන සුබ සෙත උදෙසා ආරම්භ කරන ලංකා ගමනාගමන මණ්ඩලය තවත් නව පියවරක් ඉදිරියට තබමින් ජනතාවට පොදු ප්‍රවාහනයේදි මතුවන ගැටලු පිළිබඳ තොරතුරු දැන ගැනීමසහ දැන්වීම උදෙසා පැය 24 පුරා ක්‍රියාත්මක වන නවීන තාක්ෂණයෙන් යුතු මෙවැනි ඒකකයක් පිහිටුවීම ඉතාමත් වැදගත්. වර්තමානය වන විට රට මෙන්ම බොහෝ රාජ්‍ය ආයතනද ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. වැටුප් ගෙවා ගැනීමට හෝ නොහැකි තත්ත්වයකපැවති ඩිපෝ ප්‍රමාණය වර්තමාන කළමණාකාරිත්වය යටතේ නවයක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. අනිකුත් සියලු ඩිපෝ ලබන ආදායමෙන් වැටුප් ගෙවා ගත හැකි මට්ටමේ ආදායමක්‌ උපදවමින් තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ ඉටු කර ගැනීමට උත්සාහ කළ අරමුණක් ඉටුකර ගනිමින්, බොහෝ අවස්ථාවල චෝදනාවන්ට ලක් වූ 1958 සිට ක්‍රියාත්මක වූ ප්‍රවේශපත්ක්‍රමය වෙනුවට නව ඩිජිටල් ප්‍රවේශපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. එලෙස ඩිජිටල්කරණය ක්‍රියාත්මක වීමත් සමඟ ලංගම ආදායම 50%කින් ඉහළ නැංවිය හැකි බව මා විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් තාක්ෂණික කරුණු ද සම්පූර්ණ කර ගනිමින් මේ වසර නිමවීමට පෙර ලංගම කොටසක් හෝ e ticketing ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට අප උත්සාහ කරනවා.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී පැවති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් අවසන් වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් පැවති වැටුප් විෂමතා ගැටලු ඉදිරියේ දී කැබිනට් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි මාසය තුළ සම්පූර්ණයෙන්ම විසඳා අවසන් කළ හැකි වනු ඇති.

එසේම ලංගම පසුගිය කාලය තුළ මිලදී ගැනීම් ක්‍රියාවලිය තුළ මිලියන 85ක පමණ මුදල් ප්‍රමාණයක්‌ ඉතිරි කර තිබෙනවා.එහි ප්‍රතිලාභ සේවකයින්ට ලැබිය යුතුයි.ඒ අනුව සියලුම ලංගම සේවකයින්ගේ සුරක්ෂිතතාවය තහවුරු වන පරිදිජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට අප කටයුතු කරනවා. "

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා,ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් කුලතිලක මහතා,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.