1

"පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් නිසි අයුරින් ලබාදීම සඳහා කැපවන ලංගම කාර්ය මණ්ඩලයට යහපත් ජීවන තත්වයක් ඇති කිරීම උදෙසා ඉහළ වැටුපක්, ප්‍රසාද දීමනා සහ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් මේ වන විට මූලික කටයුතු සිදු කරමින් පවතිනවා"

ලංකා ගමනාගමන මණ්ඩලයට නවක රියදුරන් 800ක්‌ සහ කොන්දොස්තරවරුන් 290ක්‌ බඳවා ගැනීමේ වැඩසටහනේ, හයවැනි අදියර යටතේ පත්වීම් ලාභීන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරිණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති මෙම වැඩසටහනේදි මූලික පුහුණුව අවසන් කළ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් 120 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.

උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් නිසි අයුරින් ලබාදීම සඳහා කැපවන ලංගම කාර්ය මණ්ඩලයට යහපත් ජීවන තත්වයක් ඇති කිරීම උදෙසා ඉහළ වැටුපක්, ප්‍රසාද දීමනා සහ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් මේ වන විට මූලික කටයුතු සිදු කරමින් පවතිනවා.

එම සැලසුම සාර්ථක කර ගැනීම සඳහා ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ වගකීම රියදුරු, කොන්දොස්තරවරුන් ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය වෙත පැවරෙනවා. කිසිදු පාඩු ලබන ආයතනයක්‌ වෙතමූල්‍ය ප්‍රතිපාදනලබාදීමේ හැකියාවක් තව දුරටත් රජයට නැහැ.

ලංගම ධාවනය කරන සෑම නව බස් රථයකටම ඒ වෙනුවෙන් ගෙවිය යුතු ණය වාරිකයක් පවතිනවා. එම නිසා සෑම බස් රථයකින් ම නිශ්චිත ආදායමක් ලබාගැනීමට කටයුතු කිරීම අනිවාර්යයි.තම රාජකාරි කාලය තුළ යහපත් සේවයක් ජනතාවට ලබාදෙමින් වැඩි ඉපයීමක්‌ සිදු කරන්නට ඔබ කටයුතු කළ යුතුයි.

ආයතනයේ කාර්ය මණ්ඩලයෙන් සුළු පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ මූල්‍ය වංචාවන් සිදුකිරීමට පෙළඹීම හේතුවෙන් දෛනිකව අති විශාල අදායමක් අහිමි වනවා. එවැනි වංචනික ක්‍රියාවන්වලට සම්බන්ධ වීම හේතුවෙන් ලංගම ප්‍රධාන කාර්යාලයේ හදිසි වැටලීම් අංශය විසුරුවා හැරීමට අපට සිදුවුණා. එම නිලධාරීන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමටද මේ වන විට පියවර ගෙන තිබෙනවා.ආයතනයේ කාර්ය මණ්ඩලයට අලුතින් එක්වන ඔබ එවැනි කටයුතු වලින් සම්පූර්ණයෙන්ම මිදී යුතුයි. කිසිවෙකුගේ බලපෑම වලට යටත් නොවී කටයුතු කරන සෑම අවංක සේවකයෙකුගේම ආරක්ෂාව වෙනුවෙන් අප පෙනී සිටිනවා.

පාඩු ලබන තත්ත්වයෙන් මිදෙමින්, පැහැදිලි වැඩපිළිවෙළක් යටතේ 2025 වසර වන විට ලාභ ලබන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ විශේෂ ඉලක්කයක්‌ වෙනුවෙන් මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදීමට ඔබ සියලු දෙනාටම විශාල වගකීමක් පැවරෙනවා."

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, පත්වීම්ලාභී නවක රියදුරු සහ කොන්දොස්තර මහතුන්ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.