zz

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ යෝජනාව පරිදි විශේෂ කැබිනට් අනුමැතිය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගත් නවක රියදුරු සහ කොන්දොස්තර මහතුන් සඳහා පත්වීම් ලිපි පිරිනැමීමේ වැඩසටහනක්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේ දී පුහුණුව අවසන් කළ නවක රියදුරු මහතුන් 24 දෙනෙකු සහ කොන්දොස්තර මහතුන් 36 දෙනෙකු වෙත පත්වීම් ලිපි පිරිනැමිම අමාත්‍යවරයා ගේ සුරතින් සිදුවිය.
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
රට මුහුණ දී ඇති වත්මන් තත්වය තුළ ඉදිරි වසර තුනක් දක්වා රාජ්‍ය සේවයට කිසිදු බඳවා ගැනීමක් සිදු කිරීමට හැකියාවක් නැහැ. ණය ප්‍රතිව්යුහගත කිරීමේ ජාත්යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම අනුව රාජ්‍ය සේවයේ ඇතැම් ආයතනවල අතිරික්ත සේවකයින් ස්වයං විශ්රාම ගැන්වීමේ වැඩපිළිවෙලක්දමේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
අදුරදර්ශී දේශපාලන හේතූන් මත වරින් වර රාජ්‍ය අංශයේ රැකියා විශාල වශයෙන් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබෙනවා. නමුත් රජයක් ලෙස තවදුරටත් එලෙස කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කොන්දේසි අනුව නිදහස ලබා වසර 100ක්‌ වනතුරුම අප ලබාගෙන ඇති ණය ගෙවීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රිරියාත්මක කළ යුතුව පවතිනවා. ඒ අනුව ඉදිරි වසර පහ තුළ අප විසින් ලබාගෙන ඇති ණය වලින් 37%ක්‌, වසර 6ත් 20ත් අතර 51%ක්‌ සහ ඉන් අනතුරුව තවත් 12%ක ප්රමාණයක් ගෙවා අවසන් කළ යුතුයි. කවර පක්ෂයක් ආණ්ඩු බලය හෙබවූවත් අනිවාර්යෙන්ම මෙම කොන්දේසි සම්පූර්ණ කළයුතු වනවා. එසේ නොමැතිව තවදුරටත් ජනතාවට බොරු කියමින් ආණ්ඩු පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ.
මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව වැඩි වැඩියෙන් පොදු ප්‍රවාහනය වෙත නැඹුරු වීම හේතුවෙන් එහි අවශ්යතාවය දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. මේ හේතුවෙන් විශේෂ කැබිනට් අනුමැතියක්‌ සහිතව ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මෙම නව පත්වීම් ලබාදීමට හැකි වීම විශේෂ අවස්ථාවක් ලෙස සලකනවා. කෙසේ නමුත් ආයතනය වෙත ලබාදී ඇති ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමේදී වංචාව, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව නීති රීති තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවනවා.
ආයතනයේ කාර්ය මණ්ඩලයේ සුභසාධනය වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක නොවූ රක්ෂණාවරණයක් සියලු සේවකයින් හට ලබාදීම පිළිබඳව මේ වන විට අවධානය යොමු වී තිබෙනවා. එසේම සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයෙන් අනාගතයේදී ආයතනය ලබන ලාභයෙන් කොටසක් නැවත ආයතනයේ සේවකයින්ට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමටද අප සැලසුම් කරනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්ය සාමාන්යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්