wayaba

මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 500ක්‌ ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් කුරුණෑගලදී දියත් විය.

මේ යටතේ ලංගම කුරුණෑගල ප්‍රාදේශිකයේ ඩිපෝ 12ක්‌ වෙත නව බස්රථ 54ක්‌ බෙදාදීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

උත්සවය අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස්රථ 500න් වැඩිම බස්රථ ප්‍රමාණයක් හිමි වුණේ කුරුණෑගල ප්‍රදේශයට. ආර්ථික අර්බුදය හමුවේ වැඩි වැඩියෙන් පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන පාසල් සිසුන්, වැඩිහිටියන්, රාජ්‍ය සේවකයින්ගේ පහසුකම් වඩා විධිමත් කිරීම සඳහා මෙම බස් රථ ලබා ගැනුනේ අපහසුතාවයන් රාශියක් මධ්‍යයේයි.

දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමින් සිදු කරන දේශපාලන පුරාජේරු වලින් ආර්ථික අර්බුදයකට නිවැරදි විසඳුමක් ලබා දෙන්නට බැහැ. ඒ වෙනුවෙන් රජය වඩාත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම සහය ලබාදෙන ඉන්දියාව, ජපානය, ප්‍රංශය, පැරිස් ආධාර සමුළුව ඇතුළු සංවිධාන නිරන්තරයෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.රට මුහුණ දී ඇති ගැටලූ විසඳීම සඳහා රාජ්‍ය ආයතනවලද විධිමත් ප්‍රතිසංවිධානයක් විය යුතුයි. ඒ වෙනුවෙන් දූෂණ සහ අක්‍රමිකතා පාලනය කරගනිමින්, පාඩු නොලබන තත්ත්වයකට එම ආයතන පත්කර ගැනීමට ඉලක්කයකින් යුතුව කටයුතු කළ යුතුය.

පසුගියදා දිවයින පුරා සිදුකරන ලද හදිසි වැටලීම් සහ විමර්ශන වලින් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වල දෛනිකව සිදුවන මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට හැකිවුණා.ඒවාට සම්බන්ධ පිරිස් සම්බන්ධව නීත්‍යානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග කඩිනමින් කිරීමට කටයුතු කරනවා.

අත්හදා බැලීමක් ලෙස දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් රථ වල කොන්දොස්තරවරුන් නොමැතිව, ගමන ආරම්භයේ දී ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමෙන් දිනකට රු.580000ක පමණ අමතර ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. මෙවැනි ක්‍රියාමාර්ග තවදුරටත්විධිමත් කරමින් ඩිජිටල් ක්‍රමවේදයකට පරිවර්තනය වීම තුලින් ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම විශාල ප්‍රමාණයකින් ඉහළ නැංවිය හැකි බව මා විශ්වාස කරනවා.

ඒ වෙනුවෙන් සියලුම කාර්ය මණ්ඩලට නිරන්තරයෙන් කැපවී කටයුතු කරන ඉල්ලා සිටිනවා. ජාතිය සතු මෙම ආයතනය රැක ගැනීමේ වගකීම ඔබ සැමටම පැවරෙනවා.

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායක මැතිණිය,ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම් මහතා, ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.