news2275වැනි නිදහස් සමරුවට සමගාමීව, මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහන, පහසුකම් ඉහළ නැංවීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නව බස් රථ 500ක්‌ ලබාදීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ 05ක්‌ වෙනුවෙන් නව බස් රථ 23ක්‌ බෙදාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නව නගරයේ දී සිදු කෙරිණි.
මෙම උත්සව අවස්ථාව අමතමින් අදහස් පළ කළ අමාත්‍යවරයා,
දීර්ඝ කාලයක් තිස්සේ අලාභ ලබමින් පවත්වාගෙන යෑම හේතුවෙන් ලංගම, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන, සේවය කඩා වැටීමකට ලක්වී තිබෙනවා. මේ තත්ත්වය තුළ නව බස් රථ ලබා ගැනීමට හෝ අනෙකුත් අවශ්යතා වලට වෙන් කිරීමට ප්‍රාග්ධන හැකියාවක් නැහැ. එමෙන්ම පවතින තත්ත්වය තුළ තවදුරටත් ණයට ප්‍රාග්ධන වත්කම් ලබා ගැනීමේ හැකියාවක් ද අපේ රටට නැහැ. එමෙන්ම මාර්ග සංවර්ධන කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු සඳහා ලැබුණු විදේශීය ණය ආධාර ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එම පහසුකම් නැවත ලබා ගැනීම සඳහා අපේ රටේ ණය ප්‍රතවයුහගත කිරීම පිළිබඳව වැඩපිළිවෙළක් සඳහා ජාත්‍යන්තර මූල්ය අරමුදල මඟින් විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු රට තවත් අගලක් හෝ ඉදිරියට ගෙන යෑමට හැකියාවක් පවතින්නේ නැහැ. මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව, ජපානය, ප්‍රංශය ඇතුළු මිත්‍ර රටවල් සමග සහයෝගයෙන් විශේෂ සාකච්ඡා මාලාවක් මේ වන විට පවත්වාගෙන යනවා.
පවතින මෙම අර්බුදයේ යථාර්ථය ජනතාව මෙන්ම අප සියළු දෙනාම මැනවින් අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා වඩාත් ඵලදායි ලෙසත් කාර්යක්ෂමවත් වැඩි වැඩියෙන් වැඩ කිරීමට අප සියලු දෙනාටම සිදුවනවා.
පවතින තත්වය යටතේ මෙම අර්බුද ජයගැනීම සඳහා 2025 වසර වන විට දිවයිනේ සෑම ඩිපෝවක්ම පාඩු නොලබන තත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි.ඒ වෙනුවෙන් සෑම ආයතනයකටම ඉලක්කයක් ලබා දෙනවා. සිදුවන වංචා, දූෂණ සහ අක්‍රමිකතා වැලැක්වීම සඳහා තවත් මාස දෙකක් වෙත ටිකට් පත් නිකුත් කිරීම, වෙන් කර ගැනීම ඇතුළු සියලු මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා අවහ්‍ය කටයුතු මේ දිනවල කෙරෙමින් පවතිනවා.
වඩාත් කාර්යක්ෂමව කටයුතු කරමින් සිය ආදායම ඉහළ නංවා ගන්නා ඩිපෝ වලට සිය අදායමින් නව බස් රථ ලබා ගැනීම සඳහා අවශ්ය පහසුකම් ලබාදීමට අවහ්‍ය කැබිනට් අනුමැතිය ලබාදීමට නුදුරේදීම කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.
නිසි ප්‍රතිපත්තියක් නොමැති කමින් බොහෝ සංවර්ධන සංකල්පයෙන් වල නිසි ප්‍රතිඵල අනාගත පරපුරට ලබා දීමේ හැකියාව අහිමි ව තිබෙනවා. රටක් ලෙස ඉදිරියට යෑමට නම් කවුරුන් විසින් ආරම්භ කරනු ලැබුවත් යහපත් දේ ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. ඒ සඳහා කටයුතු කරමින් රට වෙනුවෙන් කැප වන්නට අප සැම අධිෂ්ඨාන කර ගත යුතුයි.
වනජීවි හා වනසම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, පළාත් සභා හා පළාත් පාලන රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මැතිතුමා, වරාය හා සිවිල් ගුවන් සේවා රාජ්ය අමාත්ය ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රීනී මුදිතා සොයිසා මැතිණිය, ලංකා ගමනාගමන මණ්ඩලය සභාපති ලලිත් අල්විස් මහතා ඇතුළු නිලධාරීන්,ප්‍රාදේශීය දේශපාලන නායකයින් සහ ප්‍රාදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.