licenses

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, රතු කුරුස සමාජය - කොළඹ ශාඛාව , ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට යෝජිත "ප්‍රථමාධාර පුහුණු කිරීම හා ජීවිත මුදවාගැනීමේ ව්‍යාපෘතිය" පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
දෛනිකව සිදුවන රථවාහන හා මාර්ග අනතුරු ඇතුළු අනතුරු වලදී සිදුවන ජීවිත හානි වළක්වා ගැනීම සහ නිවැරදි ප්‍රථමාධාර ක්‍රමවේද හඳුන්වා දීමේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් රථවාහන පොලිස් නිලධාරින් හා රියදුරන් වෙත මෙම ප්‍රථමාධාර පුහුණුව ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
විශේෂයෙන්ම මාර්ග අනතුරු වලදී සෘජුව සම්බන්ධ වන රථවාහන පොලිස් නිලධාරීන් රියදුරන් ප්‍රථමාධාර සම්බන්ධව මූලික දැනුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා තිබීම තුළින් විශාල හානි සිදු වීම වලක්වා ගැනීමේ හැකියාවක් පවතී. වඩාත් විධිමත් ලෙස මෙම පුහුණුව ලබාදීම සඳහා ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබා දීමේ දී පැවැත්වෙන ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයේදි ඊට ප්‍රථමාධාර පුහුණුව පිළිබඳව කොටසක් ඇතුළත් කිරීමටත් ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව තත්ත්වයන් වඩාත් විධිමත් කිරීම පිළිබඳවත් මෙම වැඩසටහනේදී අවධානය යොමු විය.
එසේම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන අධිකාරියට අයත් අධිවේගී මාර්ග ජාලය තුළ සිදුවුන රිය අනතුරු වල දී කඩිනමින් ක්‍රියාත්මක විය හැකි ආකාරයෙන් ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙත ලබාදීමේ වැඩසටහනක් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා විය.
මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතන වල උපරිම සහයෝගය සහ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය මෙහිදී කළේය.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුමා, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය - කොළඹ ශාඛාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්