40buses

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදෙන නව බස් රථ බෙදාදීමේ තවත් අදියරක් හෝමාගම පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතන පරිශ්‍රයේදී 2023.02.21 දින සිදු විය.
75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා මෙම වසර තුළ නව බස්රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයට අනුව දිවයිනේ සියලුම ඩිපෝ වෙත මෙම නව බස් රථ බෙදා දීමට නියමිතයි.
ඒ අනුව වැඩ සටහනේ තුන්වන අදියර ලෙස නව බස්රථ 40ක්‌ අතුරුගිරිය, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතන පරිශ්‍රයේදී ලංගම ඩිපෝ වෙත භාර දීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 165ක්‌ අදියර 3ක්‌ යටතේ මේ වන විට මෙරට පොදු ප්‍රවාහනය උදෙසා එක්කර ඇති අතර, එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නව බස් රථ 500ම ධාවනයට එක්කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් ආවරණ වන පරිදි දුෂ්කර මාර්ග වල මගී ප්‍රවාහන කටයුතු ශක්තිමත් කිරීම උදෙසා ලබාදෙන මෙම බස් රථ අදාල ණය වාරික ගෙවීමට හැකිවන ආකාරයේ ආදායම් ඉපැයිය හැකි මාර්ග වල ධාවනයට යෙදවීමට අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් හරහා ඩිපෝ වෙත උපදෙස් ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර,පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයශාන් නවනන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, යන මැති ඇමැතිවරුන් සහ ලංගම සභාපතිතුමා, අශෝක් ලේලන්ඩ් සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්