001

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා මරදාන ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේදී 2022-09-09 වැඩ භාර ගන්නා ලදි. කිසිඳු පිළිගැනීමේ උත්සවයකින් තොරව සිය රාජකාරි කටයුතු ආරම්භ කල අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැමිණ සිටි අමාත්‍යංශ හා අනුබද්ධිත ආයතන වල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා තමා සමඟ එක් වන ලෙසයි.

එමෙන්ම රාජකාරි කටයුතු කරගෙන යාමේදී විවිධ අභියෝග පැමිණෙන්නට පුළුවන් බවත්, ඒ සඳහා බිය නොවන ලෙසත්,ජනතාවට සේවය කිරීමේදී එන අභියෝග වලට තමා මුහුණ දෙන බව ද පැවසීය. මීට ප්‍රථම තමා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ගෙන එන ලද ඇතැම් යෝජනා අද වන විට ක්‍රියාත්මක වන බව ද පැවසීය. එමෙන්ම දැනට ප්‍රවාහන අමාත්‍යංශයේ හා ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධිත ආයතන වල ක්‍රියාකාරී සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීම කළ යුතු බව ද, පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව තාක්ෂණය යොදා ගත යුතු බව ද පැවසීය.

විශේෂයෙන් වසර ගණනාවක් තුළ සැලසුම් කර ඇති ඊ - මෝටරින් සේවාව කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද දුම්රිය ප්‍රවේශ පත්‍ර භාවිතය වෙනුවට හඳුන්වා දීමට සැලසුම් කර ඇති ස්මාර්ට් ටෙක්නොලජි කාඩ් පත සම්බන්ධව කටයුතු කඩිනම් කර මගී ජනතාවට කඩිනම් සේවාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ද, ලසන්ත අලගියවන්න මහතා දුම්රිය බලධාරීන් හට උපදෙස් දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්.ආර්.ප්‍රේමසිරි,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ලලිත් ද අල්විස් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.