WhatsApp Image 2022 02 16 at 15.37.35දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉඳි කරන ලද කටුනායක මීගමුව ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉඳිකිරීම් කටයුතු නිම කොට දුම්රිය ධාවනය සඳහා භාර දීම 2022-02-16 දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සිදු කෙරිණ.
මීගමුව දක්වා ද්විත්ව මාර්ග ඉඳි වීමත් සමඟ කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ගමන් ගන්නා දුම්රිය මඟීන් හට විනාඩි 45 ක පමණ කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වේ. විශේෂයෙන්ම මෙම හේතුවෙන් මීගමුව සිට කොළඹ දක්වාත් කොළඹ සිට මීගමුව දක්වාත් ගමන් ගන්නා කාර්යාල සේවක සේවිකාවන් හට තම කාලය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.
රජය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද මූල්යක ප්‍රතිපාදන වලින් ඉඳි කිරීම් කටයුතු සිදු කර ඇති අතර ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන හාරසිය හතළිස් හයකි(රු.මිලි.446).මෙම ඉඳි කිරීම් යටතේ නව විදුලි සංඥා පද්ධතියක් ද ස්ථාපිත කර ඇති බව දුම්රිය දෙපාර්මේන්තුව අවධාරණය කරයි.
මෙහිදී ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය විසින් මීගමුව ද්විත්ව මාර්ගය ආරම්භ කිරිම නිමිත්තෙන් වු සමරු ඵලකය නිරාවරණය කළ අතර මෙම අවස්ථාව සඳහා මීගමුව නගරාධිපති දයාන් ලන්සා , ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යධිකාරි ධම්මික ජයසුන්දර , පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.
මෙහිදි කරුණු දැක්වු අමාත්‍යවරිය කියා සිටියේ : දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ශ්‍රි ලාංකික ඉංජිනේරුවරුන් විසින් ඉදි කල මෙම ද්වීත්ව දුම්රිය මාර්ගය මගින් මීගමුව දක්වා වු සේවාවන් දෙගුණයක් දක්වා පුළුල් කිරිමට හැකියාව ලැබි තිබෙන බවයි. විශේෂයෙන් මීගමුව සිට කොළඹ දක්වාත්, කොළඹ සිට මීගමුව දක්වාත් ගමන් ගන්නා කාර්යාලීය සේවක සේවිකාවන් හට නවීන පහසුකම් සහිත දුම්රිය සේවාවක් ලබාදීමට මෙම වැඩ පිළිවෙල යටතේ හැකිවන බවත් පැවසීය.

නවතම පුවත්