WhatsApp Image 2022 01 09 at 08.51.42

දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීමේ තවත් එක් පියවරක් ලෙස කොළඹ අගනුවර සිට උතුරුකරයේ කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන් හට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් 2022-01-09 දින පෙරවරුවේ ආරම්භ කෙරෙණි.

ඒ පෙ.ව. 5.10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා ආරම්භ කළ සුබෝපභෝගී දුම්රියයි. මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව. 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් පැමිණිමට ධාවන කාල සටහන සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නවීන තාක්ෂණය අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මෙම දුම්රියේ මැදිරි 10 ක්  සහ බලවේග එන්ජින් 02ක් ඇති අතර සියලුම මැදිරි වායු සමනය කර ඇත. එමෙන්ම මගී ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් මෙම දුම්රිය තුල ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කටයුතු යොදා ඇත. ඒ අතර සුව පහසු ආසන, ආහාර පාන ලබාගැනීමට භෝජනාගාර රථයක්, රූපවාහිනී සේවා පහසුකම්, නවීන වැසිකිලි පහසුකම් වේ.

මෙම දුම්රියේ සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන මගීන් හට මසකට පෙර සිට ජාලගත ක්‍රමයට (Online) ඊ  ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට හැකිවන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මිලදිගත් මෙම දුම්රියේ වටිනාකම රුපියල් මිලියන 2500කි.  මෙම දුම්රිය ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකසා ඇත.

දුම්රිය සේවාවේ මංගල ගමන ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේදී සිදු කෙරිණ. ඉන්පසු අමාත්‍යවරිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කල අතර මෙම අවස්ථාවට දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

මෙම සුඛෝපභෝගි දුම්රිය ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදහස් දක්වමින් : වත්මන් රජය විසින් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවේ  ගුණාත්මක භාවය නැංවීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලවල් රාශියක් ක්‍රියාමත්ක කිරිමට සැලසුම් කර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස මෙම කන්සන්තුරය බලා අද ධාවනය ආරමභ කළ  සුඛෝපභෝගි දුම්රිය  සේවාව හඳුන්වා දෙන්න පුළුවන්. ජනතාවට ඉතා ලාභදායී මුදලකට සැප පහසුව මෙම දුම්රියෙන්  උතුරුකරය බලා ගමන් ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙම  දුම්රිය සේවාව තුළින් උතුරුකරය බලා යන දෙස් විදෙස්  සංචාරකයින්ට  උපරිම සැප පහසු ගමනක් ලබා ගැනීමට හැකිව තිබෙනවා. ඉදිරියේදි මෙවැනි සුඛෝපභෝගි සේවාවන් කාර්යාල දුම්රිය සේවාවන්ට එක් කිරිමට මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඒ අනුව  කොළඹට ආසන්න ප්‍රධාන නගරවල සිට වායුසමනය කල මැදිරි සහිත දුම්රිය සේවා කිහිපයක්  ඉදිරි සති 02ක් තුළ ආරම්භ කිරිමට කටයුතු කරනවා. මෙම සේවාවන් පවත්වාගෙන යාමේදි  මගී ජනතාව හැටියට ඔබ විසින් මෙම දුම්රිය මැදිරි ආරක්ෂා කරගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා හැටියට ඉල්ලා සිටිනවා. 

මෙම දුම්රිය ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය,කොටුව,පොල්ගහවෙල, කුරුණෑගල, අනුරාධපුරය,වව්නියාව,කිලිනෝච්චිය,කොඩිකාමම්,යාපනය,කොණ්ඩාවිල්,චුන්නාකම්, සහ කන්කසන්තුරය යන දුම්රිය ස්ථානවල නවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වයි. 

මෙහි ප්‍රවේශපත්‍රයක මිල ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා රු.1700, ගල්කිස්සේ සිට වව්නියාව රු.1500, ගල්කිස්සේ සිට අනුරාධපුරය දක්වා රු.1200. (අවම ගාස්තුව රු. 1200කි.)

නවතම පුවත්