SHAN7731

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු පාසැල් පද්ධතිය ලබන මස සිට නැවතත් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත. 2020 ජුලි 06 දින සිට අධියර කිහිපයක් යටතේ පාසල් යළිත් ආරම්භ වන බැවින් පාසැල් සිසුන් ප්‍රවාහනය කිරීමේදි අවධානය යොමු කළ යුතු කාරණා පිළිබදව 2020-06-16 පස්වරුවේදි අධ්‍යාපන අමාත්‍යංශයේදි සාකච්ඡාවක් පැවත්විණි.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට පාසැල් සිසුන් ප්‍රවාහනය කරන සියළුම ප්‍රවාහන සංගම් නියෝජිත්යන් සහභාගී වුහ.

විශේෂයෙන්ම ප්‍රවාහන සේවා  සැලසීමේදි සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ආසන ගණනට පමණක් දරුවන් ප්‍රවාහනය කිරිම, පාසැල් සිසුන් ප්‍රවාහනය කරන  වාහන විෂබිජානුහරණය කිරිම සෑම පාසැල් දරුවෙක්ම මුඛ ආවරණ පැළැද සිටීම වැනි සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගත යුතු බව අමාත්‍යවරු දෙපල අවධාරණය කර සිටියේය.

එමෙන්ම පාසැල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ  ඇතුළු වාහන වල අයිතිකරුවන් මුහුණ දී තිබෙන ගැටළු පිළිබදවත් මෙහිදි අවධාරණය යොමු වු අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු ගණනාවකට විසදුම් ලබාදීමට තීරණය  විය.

කෙසේ වුවද 2020 ජුලි 20 දින සියළුම පාසල් නැවත ආරම්භ වීමට නියමිත බැවින් ප්‍රවාහන සේවා කාලසීමාවේදි වඩාත් සංකීර්ණ තත්වයක්ට මුහුණදීමට සිදුවනු ඇතැයිද මෙහිදි මහින්ද අමරවීර ඇමතිතුමා පෙන්වා දුන්නේය. එම නිසා ප්‍රවාහන සේවාවන්  සැලසීමේදි කොවිඩ් 19 වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට  ගත හැකි සියළුම ක්‍රියාමාර්ග දෙමාපියන්ගේ සේ සිතා කටයුතු කල යුතු බවත් අමාත්‍යවරයා සදහන් කලේය.

මෙහිදි අදහස් පලකල අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ අධියර කිහිපයක් ඔස්සේ පාසැල් ආරම්භ කරන බැවින් පාසැල් සිසුන් ප්‍රවාහනය කරන එම සංගම් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ බලධාරින් ගෙන් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබදව සැලසුම් දැන ගැනීම සදහා  මෙම සාකච්ඡාව  පැවැත්වු බවයි. ඒ අනුව ඒ ඒ අංශ  විසින් ලබාදෙන අදහස් හා යෝජනා අනුව ඉදිරි පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.